අද විදුලි කප්පාදුවක් නෑ

අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහෙත් ජනන යන්ත්‍රයක් අක්‍රීයවීමක් වැනි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් විදුලි බිදවැටීමක් සිදුවිය හැකි බවයි එම මණ්ඩලය සදහන් කරන්නේ.

ඉන්ධන අවසන් වීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය පසුගිය 02 වැනිදා සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණා. ඒ හේතුවෙන් විදුලි පද්ධතියට අහිමිවූ මෙගාවොට් ගණන 297ක්.

කෙසේ වෙතත් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීම නිසා සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කර ගැනීමට හැකිවී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ කැලණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 165ක සංයුක්ත චක්‍රිය බලාගාරය සඳහා නැප්තා මෙට්‍රික් ටොන් 2500ක් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ පියවර ගත් බවයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රිය කළ මෙගාවොට් 160ක කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරයද යළි සක්‍රිය කර තිබෙනවා.

පසුගිය සදුදා දිනයේදී මෙරට ජාතික විදුලි ඉල්ලුම පැවතියේ මෙගා වොට් 2650ක් ලෙසයි. ඒ අනුව පසුගිය සදුදා දිනයට සාපේක්ෂව අද දිනයේද මෙගා වොට් 2650ත් 2670ත් අතර විදුලි ඉල්ලුමක් ලංකා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත් කැලණිතිස්ස බලාගාරය නොමැතිව වුවද ජල විදුලිය හා සෙසු තාප බලාගාර මගින් එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර විදුලි උත්පාදනය සදහා ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ අනුව ඉදිරි සතිය සදහා බලාගාර වෙත ඉන්ධන නිකුත් කිරීම තිරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පුවත යවන්න