අනතුරු ඇඟවූවත් බලධාරීන් අවදානය දුන්නේ නෑ / ශානි අබේසේකර

මාවනැල්ල බුදුපිළිම කැඩීමට සහ වනාතවිල්ලුවෙන් සොයාගත් පුපුරන ද්‍රව්‍යවලට එකම කණ්ඩායමක් සම්බන්ධ බවත් ඔවුන් ඉදිරියේදී විනාශකාරී ක්‍රියාවකට යොමුවිය හැකි බවත් පාස්කු ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම්වත් කළත් ඔහු ඒ පිළිබඳ උනන්දුවක් නොදැක් වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඊයේ (26 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත දෙවන දිනටත් සාක්කි දෙමින් කීය.

එම සාක්කි විභාගයේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඔහුගෙන් ප්‍රශ්න කළේ මෙසේය.

නීතිඥවරයා- වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් 2019 ජනවාරි මස 16 වන දින විශාල පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමත් සමග ඔබ කවර නිගමනයකටද පැමිණියේ?

ශානි අබේසේකර- යම් අපරාධ කල්ලියක් විශාල ජීවිත හානියක් කිරීමට සැලසුම් කර ඇති බව වැටහුණා.

අදාළ පුපුරන ද්‍රව්‍ය සොයාගත්තේ මාවනැල්ල බුදුපිළිම කැඩීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දිගුවක් ලෙස බව පැවසූ සාක්කිකරු ප්‍රකාශ කළේ එම සිදුවීම් දෙකටම සම්බන්ධ එකම අන්තවාදී කණ්ඩායමක් බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

අදාළ කණ්ඩායමේ නායකයා සහරාන් හෂීම් නමැත්තකු බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට තමන් යටතේ සිටි පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු කණ්ඩායම උත්සහ කරමින් සිටි බවත් සාක්කිකරු ප්‍රකාශ කළේය.

අභියාචනාධිකරණ විනිසුරු- සහරාන් හෂීම් වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට සහ මාවනැල්ල බුදු පිළිමවලට පහරදීමට සම්බන්ධ බව අනාවරණය වී තිබියදීත් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වුණාද

ශානි අබේසේකර – ස්වාමිනි, අපි සමාන්‍යයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් රැඳී සිටින ස්ථාන සොයා ගත්තේ දුරකතන කුලුනු වාර්තා ඔස්සේ. නමුත් මේ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම ත්‍රිමා කියන ඇප් එක භාවිත කරලා තමයි සම්බන්ධතා පවත්වා තිබුණේ. ඒ නිසා අපිට ඔවුන් රැඳී සිටින ස්ථාන නිශ්චිතව තහවුරු කරගන්න හැකිවුණේ නැහැ. අපි ඒ ඇප් එක අයිති සමාගමෙන් තොරතුරු ඉල්ලුවා. මා ළඟ ලිඛිත සාක්කි තිබෙනවා. නමුත් ඔවුන් අපිට තොරතුරු දුන්නේ නැහැ.

ස්වාමිනි ඔය කියන කාල වකවානුවේ එක්තරා දිනක මමයි, ඒ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ඉඳපු රවි සෙනෙවිරත්න මහත්මයයි ප්‍රකාශයක් ගන්න හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව හමුවෙන්න පැජට් පාරේ නිවසට ගියා. එතනදී ප්‍රකාශය අරන් ඉවරවෙලා රෑට කෑම කන ගමන් අපි ජනාධිපතිවරයාට මෙහෙම කිව්වා. ” සර් මාවනැල්ලටයි, ලැක්ටෝවත්තටයි එකම කණ්ඩායමක් සම්බන්ධ නිසා මේක සුළුවෙන් තකන්න එපා. ඔවුන් විශාල විනාශයක් කරන්න පුළුවන්. සර් මේ ගැන ආරක්ෂක කවුන්සලයේදී කතා කරන්න.

එතකොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා, “හරි රවි මම ඒ ගැන කතාකරන්න අවස්ථාවක් අරන් දෙන්නම් කිව්වා.” නමුත් කිසිම අවස්ථාවක හිටපු ජනාධිපතිවරයා ඒ ගැන කතාකරන්න අපිව කැඳවීමක් කළේ නැහැ.

අභියාචනාධිකරණ විනිසුරුවරයා – ඔබ එම අවස්ථාවේදී සහරාන්ගේ නම කිව්වද ?

ශානි අබේසේකර – සහරාන් කියලා නම නම් කිව්වේ නැහැ ස්වාමිනි. නමුත් අපි පැහැදිලිව අන්තවාදී කණ්ඩායම ගැන කිව්වා. සංවිධානයක් කිව්වාම ගණන් ගන්නේ නැති කෙනා පුද්ගලයෙක්ගේ නමක් කිව්වාම ගණන් ගනීද? මොකද සහරාන් කියන්නෙත් නමක් විතරයි.

නීතිඥවරයා – වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ඉදිරියේදී මේ රට ලේ විලක් කිරීමට සැලසුමක් තිබෙන බව අනාවරණ වුණාද?.

ශානි අබේසේකර – ලේ විලක් කරන්න කියලාම කියන්න බැහැ. නමුත් වනාතවිල්ලුව විශාල පුපුරන ද්‍රව්‍ය තොගය අපි සොයා ගත්තේ නැත්නම් ඒවා උපයෝගි කරගෙන ප්‍රහාරයක් කළානම් ලේ විලක් වෙන්න තිබ්බා. ඒ වගේම වනාතවිල්ලුව විමර්ශනයෙන් අනාවරණය වෙලා තිබුණා 2019 මැයි වෙද්දි ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ගැන.ච

නීතිඥවරයා – ඔබ ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුම්වත් කළාද?

ශානි අබේසේකර – ස්වාමිනි. වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට සහ මාවනැල්ලේ බුදු පිළිම කැඩීමට එකම කණ්ඩායමක් සම්බන්ධ බව අපි කිව්වා. එය සුළුකොට තකන්න එපා කියලත් කිව්වා. නමුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ගන්න අපිව කැඳවීමක් කළේ නැහැ. එහෙම කැඳෙව්වානම් ඔය ගැනත් කියනවා. ඒ වගේම සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන්න තිබ්බා. – Aruna

පුවත යවන්න