අන්තවාදී දේශකයා ඉන්දියාවට පිටුවහල් කරයි ද?

මතභේදයට තුඩු දී ඇති වහාබ් මතවාදී ප්‍රකට දේශකයකු සකීර් නායික්  ඕමානයෙන් පිටුවහල් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා තිබුණේ පසුගිය අඟහරුවාදා දිනයේය.

මෙම වාර්තාව ප්‍රචාරය කළ මාධ්‍ය ආයතන අතර රිපබ්ලික් ටීවී, ඒබීපී නිව්ස්, ද වීක් සහ නිව්ස් 18 ඇතුළත් වේ.

සකීර් නායික් ඕමානය සිට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියානු බුද්ධි අංශ දැනටමත් ඕමාන් බලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බවත් මේ වාර්තාවල සඳහන්ව තිබිණි. කවරක් නමුත් නායික්ට ඕමානයේ දේශන දෙකක් පැවැත්වීමට ආරාධනා ලැබී තිබිණි. ඔහුගේ පළමු දේශනය “අල් කුර්ආනය ගෝලීය අවශ්‍යතාවය ̃ මැයෙන් මාර්තු 23 පැවැත්වීමට නියමිතවූ අතර “මුහම්මද් නබි (සල්) තුමාණන් මානව වර්ගයාට දයාව ̃ යන අනෙක් දේශනය මාර්තු 25 දිනට පවත්වන්නට යෝජනා කර තිබිණි.

ඕමානයේ ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මේ දේශන සංවිධානය කර ඇත. ඒ අනුව සකීර් ට ආරාධනා කර ඇත්තේ එරට ආණ්ඩුවෙන්ය. රජයේ ආරාධිතයා අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කරයිද ? කවරක් නමුත් මුම්බායි නුවර සිටින සාකීර් නායික්ගේ නීතිඥ මුබින් සොල්කාර් වෙත ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙය සම්පූර්ණ බොරුවක් බවයි.

භාරතීය ජනතා පක්ෂ හිතවාදී රිපබ්ලික් ටීවී රූපවාහිනිය කළ පුවතක සඳහන් වූයේ  ඕමාන් නිලධාරීන් විසින් මතභේදයට තුඩු දී ඇති දේශකයා එරටට පැමිණීමෙන් පසු ඔහු රඳවා තබා ගැනීමටත් පසුව ඔහු ඉන්දීය බලධාරීන්ට භාර දීමටත් ප්‍රබල ඉඩක් ඇති බවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඕමාන් තානාපතිවරයා සමඟ ද සකීර් නායික් ගැටළුව මතු කර තිබිණි.සකීර් නායික්ට එරෙහිව ඉන්දීය අධිකරණයක මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් කර තිබුණේ 2019 දීය. 57 හැවිරිදි නායික් පීස් ටීවී (peace TV) ඔස්සේ ඉස්ලාම් ධර්මය අන්තගාමී ආකාරයකින් ප්‍රවර්ධනය කිරීමේ නිරත වන බව රහසක් නොවේ.

එම රූපවාහිනි සේවය ඉන්දියාව තුළ තහනම් කර ඇතත්, ලෝකය පුරා මිලියන 200ක් පමණ ප්‍රේක්ෂකයන් එය නරඹන බවට මීට වසර කිහිපයකට පෙර ඇස්තමේන්තු කර තිබිණි. පාස්කු ඉරිදා සිදු වූ පිපිරීම් මාලාවෙන් පසු ශ්‍රී ලංකාවේ පීස් ටීවී විකාශනය කිරීම අත්හිටුවා තිබේ. 2016 වසරේදී බංග්ලාදේශයේ අවන්හලක සිදුවූ ප්‍රහාරය වැනි කලින් ඉන්දීය උප මහාද්වීපයේ එල්ල කෙරුණ ජිහාඩ් ප්‍රහාර හරහා ‘සලාෆි’ දේශකයන් පිළිබඳව සහ ඔවුන් තරුණ මුස්ලිම් ප්‍රජාවට කරන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබුණි. සකීර් නායික් එවැනි අන්තවාදියෙකි. ඔහු සිත් ඇදගන්නා දේශකයකු මෙන්ම ඉහළ අලෙවියක් සහිත ඉස්ලාම් ආගමික ග්‍රන්ථ රචනා කළ කතුවරයෙකි. මධ්‍යම පන්තික සහ නාගරික මුස්ලිම්වරුන් විශාල පිරිසක් සකීර් නායික් වටා එක් රැස්ව සිටියහ. පැහැදිලි ඉංග්‍රීසි බසින් දේශනවල යෙදෙන සලාෆිවරයකු වන නායික්, ආගමික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශ්ලේෂණ අනුව දකුණු ආසියාවේ තරුණ මුස්ලිම් ප්‍රජාව අතර ජනප්‍රිය තැනැත්තෙකි, ඇත්තෙන්ම පුද්ගලයන් 22 දෙනකුට මරු කැඳවමින් 2016 වසරේදී ඩකා නුවර හොලී ආර්ටිසන් අවන්හලට ප්‍රහාරයක් එල්ල කළ තුවක්කුකරු පීස් ටීවී නාලිකාවේ බලපෑමෙන් එය කළ බවට චෝදනා එල්ල වූ හෙයින් බංග්ලාදේශය ද එම නාලිකාව තහනම් කර තිබිණි.

2016 ජුලි 01 වැනිදා ඩකා නුවර අවන්හලට ප්‍රහාර එල්ල කළ සැකකරුවන් 07 දෙනාට 2019 දී මරණ දඬුවම හිමිවිය. බංගලාදේශය අන්තවාදීන් සුරතල් නොකරයි. ඩුබායි සිට විකාශය කෙරෙන පීස් ටීවී රූපවාහිනී නාලිකාව අයත් වන්නේ, නායික් සභාපතිත්වය දරන ඉස්ලමික් රිසර්ච් ෆවුන්ඩේෂන් නමැති ආයතනයටය. ඉන්දියාවේ උදහසට ලක්වීම නිසා සකීර් 2017 දී මැලේෂියාවට පලාගියේය. සකීර් නායික් ආගමික වෛරය සහ නීති විරෝධී ක්‍රියා ප්‍රවර්ධනය කරන බවට 2016 නොවැම්බර් මාසයේදී ඉන්දීය ත්‍රස්තවාදයට එරෙහි ඒජන්සිය විසින් ඔහුට එරෙහිව නිල වශයෙන් පැමිණිල්ලක් ගොනු කරන ලදී. කොංග්‍රස් ආණ්ඩුව යටතේ සකීර්ට ලැබුණු පිළිගැනීම නරේන්ද්‍ර මෝදී ආණ්ඩුවෙන් ලැබුණේ නැත.මෙරට පාස්කු ප්‍රහාරයෙන් පසු ලෝකයේම අවධානය සලාෆි දේශකයන් වෙත යොමුවූ අතර ‘ගූගල් ටේ‍රනේඩ්ස්’ අනුව යූටියුබ්හි ප්‍රමුඛ ඉස්ලාම් දේශකයන් අතර වැඩිම පිරිසක් සොයන ඉස්ලාමීය දේශකයන් වන්නේ, නායික් සහ තරීක් ජමීල් නමැති තවත් ඉස්ලාම් උගතෙකි. තාරික් ජමීල් යනු දකුණු ආසියාවේ තරුණ මුස්ලිම් ප්‍රජාව අතර විශාල බලපෑමක් සහිත ‘තබ්ලිගි ජමාත්’ නමැති ප්‍රබල සංවිධානයේ දැවැන්තයෙකි. සකීර් නායික් 2022 පාපන්දු ලෝක කුසලානයට පෙර කටාර් වෙත පැමිණි අතර එහිදී ඔහු තරගාවලිය පුරාම ආගමික දේශන පවත්වන බව සමාජ මාධ්‍ය සටහන්වල දැක්විණි.. “දේශක ෂෙයික් සකීර් නායික් ලෝක කුසලානය අතරතුර කටාර්හි සිටින අතර තරගාවලිය පුරාම බොහෝ ආගමික දේශන පවත්වනු ඇත, ̃ යනුවෙන් කටාර් රජයට අයත් ක්‍රීඩා නාලිකාවක් වන අල්කාස් හි ඉදිරිපත් කරන්නකු වන ෆයිසාල් අල්හජ්රි ඒ දිනවල තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි. මුස්ලිම් රටකට ගිය සකීර් එරටින් පිටුවහල් කළහොත් එය මුස්ලිම් ලෝකයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් උදාකරන බව නම් රහසක් නොවේ. එහෙත් සකීර් ඉන්දියාවට ගෙන්වා ගැනීමට හැකි වුවහොත් එය මෝදී ආණ්ඩුවේ ජයග්‍රහණයක් වන අතර තම හින්දු ඡන්ද දායකයන් වඩා ප්‍රබෝධමත් කිරීමේ අවස්ථාවක් වනු ඇත. ́මාන ආණ්ඩුව සකීර් නායික් ඉන්දියාවට එවයි ද ? – ●චතුර පමුණුව

පුවත යවන්න