මිනිසාගේ ප්‍රධානතම අවශ්‍යතා අතර අංක එකට වැටෙන්නේ ආහාරය. එහෙත් මේ දිනවල රට වටෙන්ම ඇසෙන්නේ ඒවායේ මිල අධික බව හා හිඟය ගැනය. සහල් නැත. කිරිපිටි නැත. ගෑස් නැත . එළවළු, මාළු හා අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල අධික ලෙස ඉහළ ගොසිනි. පසුගියදා ඉන්ධන මිලද ඉහළ දැමුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස සෑම භාණ්ඩයකම මිල මෙන්ම බස් ගාස්තුද ප්‍රවාහන ගාස්තුද ඉහළ ගියේය. ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, ඖෂධ වැනි ජනතාවට අතවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීමට රජයට ඩොලර් නැත. තමන් විසින් ආනයනය කරන ලද ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් රැසක් නිදහස් කර ගැනීමට ඩොලර් නොමැතිකමින් වරායේ සිරවී ඇතැයි ව්‍යාපරිකයෝ මැසිවිලි නගමින් සිටිති.
සිංහල අවුරුදු සමය වනවිට දැඩි ආහාර හිඟයකට මුහුණපාන්නට සිදුවනු ඇතැයි ජනතාව බියපත්ව සිටිති. එවැනි තත්ත්වයක් උදාවිය හැකි බවට දැනටමත් ලකුණු පහළ වෙමින් තිබේ. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ ඉදිරි වර්ෂය සඳහා ප්‍රමාණවත් තරම් වගාවන් ගොවීන් විසින් සිදුකර ඇති බැවින් ඉදිරියේදී කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බවටය. එහෙත් මේ වනවිටත් ජනතාවට දැරිය නොහැකි තරම් එළවළු මිල ඉහළ ගොස් ඇත්තේ අවශ්‍ය තරම් එළවළු ආර්ථික මධ්‍යස්ථානවලට නොලැබෙන හෙයින් යැයි ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවෝ පවසති.එළවළු නොලැබෙන්නේ පොහොර නොමැති කමින් නිසි පලදාවක් නොලැබෙන බැවිනි. කෘෂිකර්ම ඇමැතිවරයා කුමක් ප්‍රකාශ කළද පරිසර ඇමැති මහින්ද අමරවීර පවසන්නේ ඉදිරි කාලයේ ආහාර හිඟයක් ඇතිවන බවයි.. ඒ සම්බන්ධයෙන් විශේෂඥයන් තම මත පළකර ඇති අතර තමාද විවිධ ප්‍රදේශවල සංචාරය කොට ලද අත්දැකීම් අනුව අනිවාර්යෙන්ම ලබන වසරේ ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවන බවත්, කඩිනමින් වගා සංග්‍රාමයක් ආරම්භ කොට ජනතාවට අවශ්‍ය ආහාර සපයා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. රජයේ අරමුණ වූයේ වස විස නොමැති ආහාර ජනතාවට ලබා දීම වුවද එය ක්‍රමානුකූලව අදියර ගතව ක්‍රියාත්මක කළා නම් සාර්ථක කරගත හැකිව තිබූ බවත් අවසානයේ සිදු වූයේ ගොවි ජනතාවට රසායනික පොහොර හෝ කාබනික පොහොර හෝ කිසිවක් නොමැති වීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සාමාන්‍යයෙන් ආහාර හිඟයක් ඇතිවීමට බලපාන සාධක කිහිපයක්ම තිබේ. ඒ අනුව අස්වැන්න විනාශ වීම හෝ අවම වීම, කාලගුණික හා දේශගුණික වෙනස්වීම්, අධික ජනගහනය, රාජ්‍ය ප්‍රතිපත්ති, ආර්ථික අස්ථාවරත්වය, ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ අකාර්යක්ෂ්මතාව වැනි කරුණු එයට බලපායි. මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිවෙමින් පවතින ආහාර හිඟයට බලපාන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ කාලගුණික හේතු මත බෝග විනාශවීම සහ පොහොර නොමැති කමින් ආහාර නිෂ්පාදනය අවම වීම යන කරුණුය.
නොබෝ දිනකින්ම රට තුළ ආහාර හිඟයක් ඇති වීමට ප්‍රධාන හේතුව පසුගිය කාලයේ රජය විසින් ගන්නා ලද ඇතැම් තීන්දු තීරණ නිසා යැයි බොහෝ විද්වත්හුද ප්‍රකාශ කරති. වස විසෙන් තොර කාබනික පොහොරවලින් මෙරට ආහාර නිෂ්පාදනය කිරීමට රජය ගත් තීරණය යහපත් වුවද එය එක්වරම ක්‍රියාවට නැංවූයේ රටේ කිසිදු කාබනික පොහාර නිෂ්පාදනයක් හෝ ඒ පිළිබඳ නිසි පර්යේෂණයක් සිදු නොකරය. එමෙන්ම ක්රමක්රමයෙක් සිදු කළ යුතු කාර්යයක් එකවර ක්‍රියාවට නැංවීමෙන් රටේ ගොවි ජනතාව දැඩි අසීරුතාවකට පත්ව ඇති අතර මේ වන විට රට වටින්ම ඇසෙන්නේ තම වගාවන් පාළු වී ඇති බවට නැගෙන අඳෝනාය. හරිත කෘෂිකර්මයකට පිවිසීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ වසර දහයකින් නැතිනම් 2030 වන විටය. එහෙත් වසර දහයකින් ළඟාකරගත යුතු ඉලක්කය එක් දිනකින් කරන්නට පසුගිය අප්‍රේල් මාසයේ රසායනික පොහොර සහ පළිබෝධ නාශක තහනම් කිරීමේ ගැසට්ටුවක් ගැසීමට ආණ්ඩුව කටයුතු කළේය. මෙවැනි තීරණයක් ගැනීම සඳහා ජනාධිපතිවරයාට උපදෙස් දුන්නේ පුද්ගලයන් සිව් දෙනකු විසින් බවට රාවයක් පැතිර යමින් තිබේ.
ශ්‍රී ලංකාවේ ගොවීන්ගෙන් සියයට 90ක් පමණ භාවිත කළේ රසායනික පොහොරය. මෙරටට රසායනික පොහොර භාවිතය හඳුන්වා දුන්නේ 1960 දසකයේ මැද භාගයේදී පමණය. වසර 50කට අධික කාලයක් රසායනික පොහොර භාවිතයෙන් කළ වගාව එක්වරම කාබනික ගොවිතැනට මාරු වීම රට දැවැන්ත අර්බුදයකට හෙළීමකි. එවැනි ක්‍රියා ආහාර සුරක්ෂිතතාවට විශාල බලපෑමක් ඇති කරන බවට ලොවපුරා සිටින විද්වතුන්ගේ මතයයි. එක්වරම පවතින වගා ක්‍රමයකින් වෙනත් වගා ක්‍රමයකට මාරු විය නොහැකි බවද ඒ සඳහා සංක්‍රාන්ති කාලයක් අවශ්‍ය බවද ඔවුහු පෙන්වා දෙති. රසායනික පොහොර එක රැයකින් තහනම් කිරීම හේතුවෙන් රටේ සියලු කෘෂිභෝග විශාල වශයෙන් අවම වී ආහාර සුරක්ෂිතතාවට විශාල බලපෑමක් එල්ල වෙමින් තිබේ. කෘෂි රසායන හා පොහොර වෙනුවට රජය විවිධ වර්ගයේ කාබනික පොහොර වර්ග හඳුන්වා දුන්නද ඒ සියල්ල ප්‍රමිතියෙන් තොර හා වගාවට කිසිදු ආකාරයකින් ප්‍රයෝජනයක් නොමැති බවට ගොවීන් ප්‍රකාශ කරන අතර දිනෙන් දින පොහොර ඉල්ලා රට වටින්ම උද්ඝෝෂණ කරනු දැකිය හැකිය. වගා පාළු වීම හේතුවෙන් වගාව සඳහා ලබාගත් ණය ගෙවාගත නොහැකි බවත් අලෙවි කිරීමට තබා තමන්ගේ පරිභෝජනයටවත් වී හා එළවළු නොමැති බවටත් ඔවුහු මැසිවිලි නගති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ සඳහන් කරන්නේ සියයට සියයක් ස්වාභාවික පොහොරවලින් රටක කෘෂිකර්මාන්තය පවත්වාගෙන යා හැකි වුවද රටකට අවශ්‍ය ප්‍රමාණයට අස්වැන්න ලබා ගැනීමට නොහැකි බවයි. රසායනික පොහොරවලට විවිධ රටවල් යොමු වූයේ වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහාය. කෘෂිකර්මාන්තයේ විශාල වෙනසක් සිදු කරමින් කාබනික පොහොරවලට යොමු වීමට නම් දැවැන්ත ප්‍රතිපත්තිමය වෙනසක් සිදුවිය යුතු බවත්, එවැනි තීරණයක් ගැනීමට නම් අවම වශයෙන් වසර තුනක පමණ කාලයක් ඒ සම්බන්ධයෙන් පර් යේෂණ සිදුකොට එහි ප්‍රතිඵලය අනුව ප්‍රතිපත්තිමය තීරණයකට එළඹිය යුතුවන අතර එය මාස දෙකතුනකින් ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඇය පෙන්වා දෙයි. මේ වන විට ශ්‍රී ලංකාව දැවැන්ත ආහාර අර්බුදයකට තල්ලුවෙමින් සිටින්නේ කිසිදු පර්යේෂණයකින් තොරව ක්ෂණිකව ගන්නා ප්‍රතිපත්තිමය වෙනස නිසාවෙනි. සියලු බෝග වර්ග සඳහා එකම ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට යෑමෙන් සෑම බෝගයකම වර්ධනය අඩාල වී ලැබෙන අස්වැන්න අවම වන අතර විශාල ආහාර අර්බුදයක් නිර්මාණය වේ. මෙවැනි ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට පෙර බෝග වර්ග කිහිපයක් පළමුව කාබනික පොහොර යොදා ලැබෙන අස්වැන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කළා නම් අනෙක් බෝගවර්ග රැක ගැනීමට අවස්ථාව ලැබෙන අතර ආහාර සුරක්ෂිතතාව පිළිබඳ බියක් ඇති කර ගැනීමට සිදුනොවනු ඇත. එහෙත් මේ වනවිට ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට ලක්වෙමින් තිබෙන බවත්, සෑම පුරවැසියෙක්ම තමන්ට හැකි පරිදි හැම බිම් අඟලකම කිසියම් බෝගයක් වවා ගැනීමට පියවර ගත යුතු බවත් එසේ නොවුණහොත් ආහාර ආනයනය හැර ඉදිරියේ ඇතිවන ආහාර අර්බුදයෙන් ගැලවීමට වෙනත් විකල්පයක් නොමැති බවත් මහාචාර්යවරිය පෙන්වා දෙයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බර් මාසයේ ආහාර වර්ගවල මිල උද්ධමනය සියයට 23 ඉක්මවා යනු ඇති බවට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා තිබිණි.. ආහාර කාණ්ඩයේ මිල උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේ සියයට 11.7ක් වූ අතර පසුගිය නොවැම්බර් මාසයේදී 16.9 ලෙස නිවේදනය කෙරිණි. මෙය සියයට 5.2ක වැඩිවීමකි. මේ අනුව දෙසැම්බර් මාසයේ උද්ධමන ප්‍රතිශතය නොවැම්බරයට වඩා 6.1කින් වැඩි වී ඇත. කෙසේ නමුත් පසුගිය සතියේ ඉන්ධන මිල වැඩි කිරීම නිසා මෙයට වඩා වැඩි ප්‍රමාණයකින් වුවද ඉහළ යාමට බොහෝදුරට ඉඩ තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පසුගියදා කියා සිටියේ නුදුරේදීම ආහාර හිඟයක් ඇති වීමට නියමිත බවයි. එහි ප්‍රතිළුලය වූයේ ඔහුට ලේකම්ධුරය දමා ගෙදර යන්නට සිදුවීමය. සියයට සියයක් කාබනික වගාවන් සිදුකරන කිසිදු රටක් ලොව නොමැති බවත් සියයට සියයක් පරිසර හිතකාමී වගාවන් පැවතිය හැකි බවත් ඔහු කියා තිබිණි. විෂය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති පුද්ගලයන් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදෙස් දීමට යාම නිසා අර්බුද නිර්මාණය වූ බව ඔහු කියා සිටියේය. ආහාර අර්බුදයක් පැමිණිය හැකිනම් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම යුතුකමක් යැයි සිතූ ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය. අාහාර හිඟයක් අැතිවීම වැළැක්වීමට පියවර ගැනීම පසෙක ලූ බලධාරීන් පසු දිනම ලේකම්වරයා එම තනතුරින් ඉවත් කොට වෙනත් පුද්ගලයකු කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් කිරීමට කටයුතු කළේය.
ගොවීන් පවසන්නේ පොහොර නොමැති බැවින් තමන් වගා කරන්නේ තම පවුලේ පරිභෝජනය සඳහා පමණක් බවයි. එවැනි තත්ත්වයක් හමුවේ ආණ්ඩුවට සිදුවන්නේ පිටරටින් සහල් සහ එළවළු ආනයනය කිරීමටය. සහල් මාෆියාව නිසා සහල් හිඟයක් ඇති වූ අතර අධිකව පැවති මිල පාලනය කිරීමට රජය සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගත්තේය. එහෙත් එම සහල් මෙරට ජනතාවට ප්‍රමාණවත් නැත. එළවළු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට රටේ ඩොලර් නැත. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පසුගියදා ජනතාවට කීවේ තම වත්තේ බෝගයක් දෙකක් සිටුවා ගන්නා ලෙසටය. නොදන්නා පුද්ගලයන්ගේ උපදේශ ක්‍රියාවට නැංවීමට ගොස් රටේ ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ දුන් ආණ්ඩුව දැන් රටේ ජනතාවට තම ගෙවතුවල වගා කිරීමට උපදෙස් දෙමින් සිටී.
ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසන්නේ පොහොර ගැටලුව නිසා ආහාර අර්බුදයක් ඇතිවනු ඇතැයි ජනතාව බිය නොවිය යුතු බවටය. රජය විශාල වගා සංග්රාම වැඩ සටහනක් ආරම්භ කිරීමට නියමිත බවත්, එළවළු පලදාව මාස දෙකකින් පමණ ලබාගත හැකි බවත් සහල්වල හිඟයක් ඇතිවුවහොත් ආනයනය කොට හෝ ජනතාවට ආහාර ලබා දෙන බවට මුදල් අමාත්‍යවරයා පොරොන්දු වී ඇති බවත් එහෙයින් ආහාර හිඟයක් ඇති නොවන බවත් ඔහු කියා සිටී.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා