ගාලුමෝදර අරගලකරුවන් සහ විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් අතර පොදු සම්මුතියක් සඳහා එකඟතාවක් ඇති කරගෙන තිබේ.
අරගලය දිනවන සම්මුතිය නමින් කොළඹ දී සංවිධානය කෙරුණු සමුළුවකදි එම එකගතාව ඇති කරගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අරගලකරුවන්ගේ පාර්ශය විසින් කරුනු 4කින් සම්මුතියක් සභාගත කෙරුණු අතර ඊට සහභා වු සියලු දෙශපාලන පක්ෂවල එකඟතාව හිමිව තිබේ.
අදාළ වැඩසටහනේදී අදහස් දක්වමින් සර්ව පාක්ෂික අරගලකරුවෝ හි සභාපති මංජුල සමරසේකර පළ කළේ මෙවන් අදහසකි.
“අරගලය තීව්ර කිරීම සඳහා ජූලි 9 කියන දිනය ප්‍රකාශයට පත්කරලා තියෙනවා. එය කිරීමට පැහැදිලි ගමන් මාර්ගයක් ඔවුන් පවසලා තියෙනවා. අපිට දැඩි වගකීමක් තියෙනවා. ඊට වඩා විශාලම වගකීම පැවරී තිබෙන්නේ දේශපාලනඥයින් හා සිවිල් ක්‍රියාකාරීන් ලෙස ඔබටයි. හොඳින් මතක තබාගත යුතුයි මෙය පොදු සමාජයම, පීඩිත පන්තියේ සියලුදෙනාම අපි දිහා ඇහැ ගහගෙන ඉන්නේ. ඒ නිසා ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉතා අවංක සහ දැඩි කැපවීමෙන් යුතු මැදිහත්වීමක්. එය නොකර පොදු මහජනතාව ඉදිරියට ඡන්දය ඉල්ලාගෙන යෑමට ඔබටවත් අපිටවත් හැකියාවක් ලැබෙන එකක් නෑ.”
අදාළ සම්මුතිය සම්බන්ධයෙන් එම අවස්ථාවට එක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පළ කළේ මෙවන් අදහසකි.
“රට පරිවර්තනාත්මක යුගක් කරා ගෙන යෑමේ අභිලාෂයෙන් නිර්මාණය වූ මේ සම්මුතිය ශක්තිමත් කිරීමට අපි සැමවිටම කැපවී සිටිනවා. දසක ගණනාවක රාමුවකට කොටුවෙලා ක්‍රියාත්මක වූ ක්‍රමවේදය පිළිබඳ තියෙන ගැටුම්කාරී මතිමතාන්දරවලට, අදහස්වලට අපි ගරු කරනවා. ඒ අදහස්වලින් බිහිවිය යුතු පෙරගමන්කරුවන් බවට අරගලයේ ඔබ කරන්නාවු කාර්යභාරයට අපේ ප්රජාතන්ත්රවාදී ශක්තිය එකතුකරනවා.”
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එහිදි මෙසේ අදහස් පළ කළේය.
“සෑම වේලාවෙම මම තමුන්නාන්සේලාගේ අරගල ව්‍යාපාරයට ආශිර්වාද කළා. අපි සහයෝගය දෙන බව ප්‍රකාශ කළා. අපිට ආ දුර වගේම යන්න තියෙන දුර අභියෝගාත්මකයි. සමහර වේලාවට අපි මේ ගෙන යන ව්‍යාපාරය කඩකප්පල් කරලා පවතින ආණ්ඩුව ඒ විදියටම බලයේ ඉන්න නොයෙකුත් ක්‍රම භාවිත කරන්න පුළුවන්. අපි මෙයට සහය ලබාදෙන්නේ, සුබ පතන්නේ මේ අරගලය කරන්නේ ප්රජාතන්ත්රවාදය තුළ විනයගරුකව මෙය කරන නිසයි.”