නියමිත කාලය ඉක්මවා නීති විරෝධීව බලයේ රැදී සිටීමට තැත් කළහොත් ජනතාව වෙනුවෙන් පාරට බසින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.
මෙම යෝජනාව කවරකුගේ අවශ්‍යතාවය මත ඉදිරිපත් කරන්නේදැයි නොදන්නා බවයි ඔහු පැවසුවේ.
මම දන්නේ නැහැ මේ යෝජනාව කරන්නේ කාගේ වුවමනාවටද කියලා. හැබැයි ජනාධිපතිතුමාත් මේ සම්බන්ධයෙන් ඉඟි පළ කළා. එතුමට අවුරුදු දෙකක් වැඩ කරන්න බැරි වුණාලු. දැන් වැඩ කරන්න අලුතෙන් පටන් ගන්නවලු . 1970 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට බලය දුන්නෙ අවුරුදු පහයි. එතුමිය1977 වනතුරු ජනවරමක් නැතුව බලයේ ඉන්න ගිහින් සිද්ධවුනේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ පහළටම වැටුනා. ඒක දන්නවනම් කවුරුත් ඔහොම කතා කියන්නේ නැහැ. හැබැයි ජනමතයක් නැතිව මේ රටේ කාටවත් ආණ්ඩු කරන්න ජනතාව ජනවරමක් දීල නැ. ඒකට එරෙහිව ක්‍රියාකරන්න සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය සූදානම්. ජනතාව කියන්නේ ඔවුන්ට ආණ්ඩු කරන්න කියලා නෙවෙයි. ජනතාවට සහන දෙන්න කියලා . එහෙම වුනොත් ඒකට විරුද්ධත්වය පල කරන්න පාරට බහින්න අපි සූදානම්.
මේක හරියට නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කිව්වා වගේ.මහජන වරමක් දුන්නම ඒ නිශ්චිත කාලයෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න ඕන. ඒ වගකීම ඉෂ්ට කරන්නේ නැතුව, නිදහසට කරුණු කියලා වැඩක් නැහැ. ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් ආණ්ඩුවක් රටක් බාර ගන්නේ, රටේ මොන අර්බුදය තිබුනත් ඒවා විසදලා ජනතාවට වැඩ කරන්න. රටේ ජනතාව බලාගන්න . රටේ ජනතාව ආරක්ෂා කරන්න. ඒක බැරි වුණාම නිදහසට කරුණු කියන්න උවමනා නැහැ. ජනතාව බලය දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා ඔවුන්ට කරන්න තියෙන වගකීම ඉටුකරන්නයි. ජනාධිපතිවරයාට අවුරුදු පහක් පාර්ලිමේන්තුවට අවුරුදු පහක් ඒක තමයි අපේ ව්‍යවස්තාව. එයින් එහාට බලහත්කාරයෙන් ජනවරම තියාගන්න තියාගන්න උත්සාහ දරනවා නම් 1977 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පාඩම් ඉගෙන ගන්නවා නම් හොදයි.