ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට අගමැතිගෙන් කැඳවීමක්

කෙරවලපිටිය බලාගාරයේ ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ටෙන්ඩරයකින් තොර ව ඇමරිකානු සමාගමකට ලබාදීමේ සිදුවීම පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් කැඳවා තිබෙනවා.

ඒ, පසුගිය දිනවල ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

එම සාකච්ඡාව අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, හවුල්කාර පක්ෂ නායකයින් ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හමු වී තිබුණා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් පසුගිය සඳුඳා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් වී සාකච්ඡා කළ අතර, නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් ඊට එක් ව සිටියා.

එහි දී තීරණය කෙරුණේ, අදාළ ගිවිසුම ඔස්සේ මතු ව ඇති තත්ත්වයන් පිළිබඳ ව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට යි.

ඒ අනුව අද දිනයේ දී ඔවුන් මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමු වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති.

පුවත යවන්න