ජනතාවගේ ඉල්ලීම අනුව ආණ්ඩුවේ සියලු නායකයින් ඉවත් වී මැතිවරණයක් පවත්වා නව රජයක් පත්කරගැනීම සඳහා ජනතාවට ඉඩ දියයුතු බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා.
පොළොන්නරුව ප්රදේශයේ පැවැති මැයි දින රැළියකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.
“මගේ කාලේ ලෝකයේ සෑම රටක්ම අපිට උදව් කළා. කිසිම රටක් සතුරු වුණේ නැහැ. තරහා කර ගත්තේ නැහැ. අද වුණාත් අපි ආණ්ඩුවක් භාර ගත්තොත් ඒ ලෝකේ රටවල් සියල්ලම උදව් කරනවා. මම තානාපතිවරු සමග සාකච්ඡා කළා පසුගිය සති දෙකතුනේ. මම හම්බෙන්න ඕනේ කියද්දි ඒ සියලුදෙනාම මගේ ගෙදරට ආවා. ඒ සියලුදෙනාම කියන්නේ මේ පාලනය දූෂිත පාලනයක් නිසා අපිට පුළුවන් කමක් නැහැ රටේ ප්රශ්නවලට ආධාර දෙන්න, උදව් කරන්න කියලා. ඒ නිසා මෙවැනි පසුබිමක ආණ්ඩුව තව තවත් බලාගෙන ඉන්නවාද ? එහෙම නැතිනම් ජනතාව සුදුසු ආණ්ඩුවක් තෝරා ගැනීම සඳහා ඉවත්වෙනවාද කියන එක ජනතාව අහන ප්රශ්නයක්.”