ආර්ථික අර්බුධය ගැන මල්වතු-අස්ගිරි නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිරසර සංවර්ධනය උදෙසා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම සහ තවත් කරුණු 13ක් ඇතුළත් ලිපියක් මල්වතු -අස්ගිරි මහානායක හිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන්ගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙම ලිපිය යොමු කර තිබේ.

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව ලිපිය මගින් මහානායක හිමිවරු පෙන්වා දෙති.

විදේශ විනිමය අර්බුදය සමනය කරගැනීම සඳහා හඳුනාගත් ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ජීවන වියදම පහත හෙළීමහා දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීම ද යෝජනා අතර වේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට, කෘෂිකර්මාන්තයට හා ගොවි ජනතාවට සහන සැලසීම, ආර්ථික අර්බුදය හමුවේ අනිසි මූල්‍ය වාසි වෙනුවෙන්අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් කෘතිමව නිර්මාණය කරන කූට වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මහානායක හිමිවරු පෙන්වා දෙති.

ආයෝජන සඳහා දිරිගැන්වීම, පාරදෘශ්‍ය ආර්ථික සැලැස්මක් තුළින් විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකරගැනීම සේම අපනයන ආර්ථියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද ලිපියෙහි යෝජනා අතර වෙයි.

රටේ නව ආයෝජනය දිරිමත් කිරීම, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම, නාස්තිය, දූෂණය, සම්පත් අවභාවිතය වැළැක්වීම සඳහා වන තිරසර සැලසුමක් සැකසීමේ වැදගත්කම ද උන්වහන්සේ අවධාරණය කරති.

පුවත යවන්න