ඇස්ට්‍රසෙනිකා එන්නත භාවිතයෙන් ඉවත් කළ හේතු නෝර්වේ හෙළිකරයි

ඇස්ට්‍ර සෙනිකා එන්නත ලබාගැනීමෙන් පසු තම සෞඛ්‍ය සේවකයන් රැසක් අසාමාන්‍ය මට්ටමේ රෝගී තත්ත්වයන්ට ගොදුරුව ඇතැයි නෝරවේ රාජ්‍යය පවසනවා.
එරට සෞඛ්‍ය බලධාරීන් මේ බව අනාවරණ කළේ නෝරවේ හී ඇස්ට්‍රසෙනිකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමෙන් පසුවයි.

අවසන්වරට එන්නත් ලබාගත් සෞඛ්‍යය සේවකයන් 3 දෙනකු ක්ෂණිකව අසාමාන්‍ය රෝගී තත්ත්වයන්ට ගොදුරුව තිබෙන බවද හෙළිකර තිබුණා.
මෙම සෞඛ්‍ය සේවකයන් රුධිර වහනය , ලේ කැටි ගැසීම හා රුධිර පට්ටිකා හිඟවීමේ ගැටලුවකට මුහුණ පා ඇති බවද අනාවරණ කර තිබෙනවා.
මෙම අසාමාන්‍ය තත්ත්වය සඳහා එන්නත සෘජුව බලපා ඇත්දැයි මෙතෙක් තහවුරු කර නැහැ.

මේ වන විට නෝර්වේ, බල්ගේරියාව් , අයිස්ලන්තය හා ඩෙන්මාර්කය ඇස්ට්‍රසෙනිකා එන්නත භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.
ඊයේ දිනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්ට්‍රසෙනිකා එන්නත පිළිබද හානිකර තත්ත්වයක් නොමැති බවට නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා.

එමගින් පෙන්වා දී තිබුණේ ඇස්ට්‍රසෙනිකා එන්නත සම්බන්ධයෙන් හානිකර තත්ත්වයක් පවතින බවට පිළිගත හැකි කිසිදු විද්‍යාත්මක තත්ත්වයක් නොමැති බවයි.
මෙය දකුණු අප්‍රිකානු කොරෝනා ප්‍රභේදයට පවා ප්‍රශස්ත මට්ටමකින් ප්‍රතිචාර දක්වන බවයි එම වාර්තා පෙන්වා දී තිබුණේ.

ඕනෑම එන්නතකින් සුළු මට්ටමේ ගැටලු මෙන්ම ආසාත්මිකතා හටගත හැකි අතර එය එන්නත අසාර්ථකවීමට හේතුවක් නොවන බවද අවධාරණය කර තිබෙනවා.
ඉන් පසුවයි නොර්වේ විසින් මෙම දත්ත හෙළිකර ඇත්තේ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් ඇස්ට්‍රසෙනිකා ආයතනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

පුවත යවන්න