ඇෆ්ගනිස්ථානයේ ලාංකිකයන් ඉවත් කර ගැනීමට පියවර

යුද ගැටුම් පවතින ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ, ශ්‍රී ලාංකිකයින් 50 කට ආසන්න පිරිසක් එරට සිටින බවයි.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු නොමැති බව ද අනාවරණවී තිබෙනවා.

තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් 43 දෙනෙකු කාබුල් නුවර එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන හා තානාපති කාර්යාලවල සේවය කරන බවට ලියාපදිංචි වී ඇති බවයි.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් දිවයිනට පැමිණිම සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරගෙන ඇති බව අදාළ නිලධාරියා සඳහන් කළා.

එරට පවතින ගුවන් පහසුකම්වලට අනුව, ඔවුන් දිවයිනට පැමිණෙනු ඇති.

වසර 20 කට අධික කාලයක් පුරා ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම් ක්‍රියාත්මක කළ ඇමෙරිකානු හමුදාව ප්‍රමුඛ බටහිර හමුදා එරටින් ඉවත් වීමත් සමග තලේබාන් සටන්කාමීන් එරට බලය අත්පත් කරගැනීම සඳහා ප්‍රහාර දැඩි කරනු ලැබුවා.

ඒ අනුව තලෙබාන් සටන්කාමීන් අද(15) කාබුල් අගනුවරට ඇතුළු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිටත් එරට සෙසු ප්‍රධාන නගර රැසක බලය තලෙබාන් සටන්කාමීන් අත්පත්කරගෙන අවසන්.

පවතින තත්ත්වය හමුවේ, කාබුල් නුවර සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා ඇමෙරිකාව හමුදා භට පිරිස් ඇෆ්ගනිස්ථානය වෙත යවා තිබෙනවා.

පුවත යවන්න