ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂ බීජ – සැත්කම් කළ 10 දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලයි

ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂ බීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ 10 දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවී ඇතැයි නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසයි.

රෝහල් අධ්‍යක්‍ෂවරයා මේ බව කියා සිටියේ රෝහල් ආරංචි මාර්ග ඔස්සේ පැතිර යන තොරතුරක් සම්බන්ධව මාධ්‍ය විසින් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න වැඩිදුරටත් කියා සිටින්නේ පසුගිය අප්‍රේල් මස පස්වැනිදාට පසුව සිදුකළ අක්ෂි ශල්‍යකර්මවලින් පසු රෝගීන්ට ඇස්වලට දැමීම සඳහා ලබාදුන් බෙහෙතක් විෂ වීමෙන් ඇස් පෙනීම මුළුමනින්ම නැතිව ගොස් ඇති බවය.

එලෙස සිදුව ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ලද බෙහෙතක විෂ බීජ අඩංගුව තිබීම හේතුවෙන් බව මූලික පරීක්‍ෂණවලින් අනාවරණයවී ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටී. සායනවලින් පසු නිවෙස් කරා ගිය රෝගීන් නැවත දින කිහිපකට පසු ඇස් පෙනීම මුළුමනින්ම නැතිවූ බව පවසමින් රෝහල් ගත කෙරුණු අතර ඉන් පසුව සිදුකළ ප්‍රතිකාරවලින් පසු ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවද නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසයි.

මූලාශ්‍ර දිවයින

පසුගියදා කොළඹ ඇස් රෝහලද වසා දැමීමට සිදු වූයේ මේ ආකාරයෙන්ම ඉන්දියාවෙන් ගෙන්වනලද බොහෙත් කාණ්ඩයක විෂබීජ තිබීම හේතුවෙන් වන අතර එම කාණ්ඩයේ බෙහෙත් භාවිතයෙන් ඉවත් කිරීමටද කටයුතු කර තිබිණි. පසුව විෂබීජ හරණය කර ඇස් රෝහල විවෘත කරන ලදී.

පුවත යවන්න