ඉන්දීය ආධාරවලින් වානේ ගෙන්වූ කතාව බොරු / මුදල් ඇමති කියයි

ඉන්දියාව අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 750ක්  යකඩ ගෙන්වීමට වැය කර ඇතැයි  ගෙන යන  ප්‍රචාරය නිර්මාණය කළ ප්‍රබන්ධයක් බව  මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ  අලි සබ්රි පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක්  දැනටමත් නිකුත් කර ඇතැයිද ඔහු කීවේය.

අලි සබ්රි මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග 27 (2)  යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

මේ අර්බුද  අවස්ථාවේදී කළ යුත්තේ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම නොව ප්‍රතිපත්තියක් අනුව කටයුතු කිරීම බව පැවසූ අමාත්‍යවරයා  ලෝකයේ ඉන්ධන මිල සියයට 138 කින් ඉහළ ගොස් ඇතැයිද  ප්‍රකාශ කළේ‍ය.

බදු ගෙවන්නන් ලියාපදිංචිවීම  ලක්ෂ දහයකින්ද   වැට් බදු ගෙවන්නන් 20,000 කින්ද  අඩුවී ඇතැයි  අලි සබ්රි කීවේය.

බදු ගෙවන්නන් මෙලෙස අඩුවීම විශාල ප්‍රශ්නයක් බවද ඔහු පැවසීය .

යුරියා මෙට්‍රික් ටොන් 65000ක් ගෙන්වා ගැනීමට ඉන්දීය රජය සමග සාකච්ඡා ආරම්භ කළ  බවත්  ණය සඳහා වැඩිම පොලී ගෙවන රට  ශ්‍රී ලංකාව බවත් අමාත්‍යවරයා පැවසීය.

ණය සඳහා ගෙවන පොළිය සියයට පනහක් බවද  හෙතෙම ප්‍රකාශ කළේය.

රජය  බදු ප්‍රතිසංස්කරණ පැකේජයක් හඳුන්වා දුන් බවත් සියලුම ස්ථරයන් එහිදී සැලකිල්ලට ගත් බවත්   අමාත්‍යවරයා කීවේය.

ආර්ථික අර්බුදය  ශ්‍රී ලංකාවේ  පමණක් නොව තවත් රටවල් ගණනාවක  පවතින බව පැවසූ අලි සබ්රි මෙය කොවිඩ්  සමග  වර්ධනයවූ  තත්වයක් බවද  අවධාරණය කළේය. –  Lankadeepa

පුවත යවන්න