Skip to content
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නයට ගොස් අදාළ පරීක්ෂණ සිදු කිරීමට පහසුකම් සලසන්නැයි පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මීපා සහ නාරා ආයතනවලට දැනුම් දී තිබෙනවා.
අදාළ නෞකාව සම්බන්ධයෙන් ඇමෙරිකා ඩොලර් බිලියන හයයි දශම දෙකක වන්දි මුදලක් ලබා ගැනීමට අදාළ විද්වත් කමිටු වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.
2021 වසරේ මෙරට මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක් වුණා.
එම අනතුරින් නෞකාවේ ඉතිරි වී ඇති කොටස් ආසන්නයට ගොස් හානිපූර්ණය ගණනය කිරීම සදහා සාම්පල ලබා ගැනීමට අදාළ විද්වත් පරීක්ෂණ කමිටුවට පහසුකම් සලසන ලෙස පරිසරය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා ඉල්ලීමක් කර තිබුණා.
ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හෙවත් මීපා සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් නාරා ආයතනයෙනුයි. මෙම කාරක සභා රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියා.
එමෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමේ නියෝජිතයන්, පරිසර ඇතුළු හානිය තක්සේරු කිරීම සදහා පත් කළ විද්වත් කමිටු සාමාජිකයන්, නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීන්, පරිසරවේදීන් පිරිසක්ද මෙම අවස්ථාවට කැදවා තිබුණා.
නෞකාවට එරෙහි නඩු පැවරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. නඩු පැවරීම සදහා තවදුරටත් ඉතිරිව ඇත්තේ දින 45 ක කාලයක් පමණි.
මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇති පරිදි නඩු පැවරීම සිංගප්පූරුවේ සිදු කිරීම අවාසිසහගත බව පරිසර වේදීන් හා නීතිඥවරුන් කිහිප දෙනෙකු කරුණු පැහැදිලි කළා.
මේ වන විට අනතුරට අදාළව ඇමෙරිකා ඩොලර් බිලියන 6.2 ක වන්දි මුදලක් ලබා ගැනීමට අදාළ විද්වත් කමිටු වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව මෙහිදී හෙළි කෙරුණා.