එක්ස්-ප්‍රෙස් පර්ල් ගිනි ගෙන මේ වන විට මසක් ඉක්ම ගොස් ඇත්තේය. එහෙත් තවමත් ගිනිය නොහැකි පරිසර හානිය ඇස් පනා පිටම මතුකරමින් මිය යන මුහුදු ජිවින් අපේ වෙරළ තීරයට ගොඩ ගසමින් සිටිති. ප්ලාස්ටික් වැනි අබලි ද්‍රව්‍ය සුන්දර වෙරළ තිරය විනාශ කරමින් සිටියි. ලොව විදෙස් මාධ්‍ය පවා මේ හානිය ඉස්මතු කරන්නේ මෙතෙක් ප්ලාස්ටික් මඟින් ලොව සිදු වූ දරුණුතම පරිසර හානිය මෙය වන බවයි. සංක්‍රමණික සත්ත්වයින් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හෙවත් බොන් සම්මුතිය හා වන සත්ව, වාක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුවත් රැකගත යුතු විරල හා වඳවී යන සතුන් විශේෂයක් වන මුහුදු කැස්බෑවුන් මේ වන විට 150 කට අධික ප්‍රමාණයක්ද, ඩොල්ෆින් සහ තල්මසුන් ඇතුළු ජලජ ක්ෂීරපායි සතුන් 50 කට අධික ප්‍රමාණයක්ද මියගොස් ගොඩ ගසා ඇත.
නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍ය මොනවාදැයි කිසිවකුත් නොදන්නා බැවින් මෙම සාගර සතුන්ගේ මියයාම් පිළිබඳව නිගමනයකට පැමිණීම දුෂ්කර වී ඇත. එසේම මේ මරණ හමුවිම දිගුකාලීන වේද කෙටිකාලින වේදැයි කිසිවකුටත් පැවැසිය නොහැකි වී ඇත.
මේ සියල්ල සිදුවෙමින් පවතින අතරම පර්ල් එක්ස්ප්‍රස් නැවෙන් සිදුවු හානියද මේ වන විටත් ගණනය කරමින් පවතියි. ධීවර ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 72 ක අතුරු වන්දි මුදලක් ගෙවීමට එම නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී ඇති අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කිලෝ මීටර 700 ක පමණ දුර වෙරළ පිරිසුදු කිරීමේ ඇතුළු කටයුතු ධිවර ප්‍රජාවට සිදු වූ වන්දිද සමඟින් ඩොලර් මිලියන 40 ක පමණ වන්දියක් ලැබිය යුතු බවට පරිසර ආරක්ෂණ අධිකාරිය අදාළ සමාගමට දන්වා යවා ඇති බව සැලය. නමුත් ඔවුන් දැනට ඩොලර් මිලියන 3 ක පමණ මුදලක් ගෙවන්නට ඉදිරිපත් වි ඇති බවත්, ඉතිරි වන්දි ගෙවිම් සලකා බලන බවත් සැලය.
මේ වන විට 16,000 ක් වන ධීවර ප්‍රජාවගේ රැකියාද අනාරක්ෂිත වී ඇති අතර ඔවුන්ගේ වන්දි ගෙවීම්ද ඉදිරියේ සිදු කරන බව ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති කංචන විජේසේකර පවසා තිබුණි.
“ මේ නෞකාව නිසා සෘජුවම ධීවර කර්මාන්තය අහිමි වූ පිරිස් සඳහා වන්දි ලබාදිමේ කටයුතු අපි මේ වන විට ඇස්තමේන්තු කර තියෙනවා. මැයි 20 වැනිදා සිට ජූනි මස 3 වැනිදා දක්වා පළමු දින 10 කට මූලික වශයෙන් ලබා දිය යුතු වන්දිය පිළිබඳව අපි දැනුම්වත් කර තියෙනවා. සතියෙන් සතිය නීතිපතිවරයා දැනුම්වත් කරනවා. තවමත් මේ මුහුදු ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ කටයුතු අවසන් වී නැහැ. නෞකාව ඉවත් වන තෙක් ඒ අවට තහනම් කලාපයක් බවට පත්වුණා. මේ තහනම සිදු වන්නේ ධීවරයාගේ ආරක්ෂාව සඳහාමයි. එසේ නැතුව ධිවර කර්මාන්තය නවතා නැහැ…..“
ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සිළුමිණට සම්බන්ධ වූයේ මෙසේය.
“ මෙම නැව ආපදාවට පත් වූ ප්‍රදේශ තවමත් ධිවර ජනතාවට තහනම්. නාරා ආයතනයක්, එසේම මේ වන විට ලංකාවට පැමිණ ඇති ඉන්දිය මුහුදු පතුල ස්කෑන් පරික්ෂාවට යොමු කරන නෞකාවේ දත්ත අනුව පැහැදිලිවම පෙන්නුම් කර තියෙනවා, ඒ ආශ්‍රිතව විශාල වශයෙන් අබලි ද්‍රව්‍ය තැන්පත් වී ඇති බව. මේ නිසා ධිවරයින්ගේ ආරක්ෂාව පතා ධිවර රැකියා කරන්න බැහැ. විසිතුරු මසුන් ඇල්ලිම් කරන අයත් ඉන්නවා. ඒ අය වගේම කිමිදුම් රැකියා, මාදැල් රැකියා කරන අයටත් ඒ ප්‍රදේශ ආරක්ෂිත විය යුතුයි. එමනිසා මේ ප්‍රදේශය පිරිසුදු කරන තෙක් රැකියා සඳහා විවෘත වෙන්නේ නැහැ. මේ වන විට පීඩාවට පත් ධීවර ජනතාව 16,000 ක් පමණ ඉන්නවා. මේ අයට වන්දි ගෙවීම් අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් හා නීතිපතිතුමා හරහා ඒ කටයුතු සිදු කරමින් පවතිනවා……“
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සියලු අංශ ආවරණය වන පරිදි සිදුවූ හානිය ගණනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කළේ පසුගියදාය. එහි සම සභාපතිනියක් වන්නේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යාන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධනය. ඇය මේ වන විට මෙම කමිටුව හරහා අධ්‍යයනයට භාජනය කළ අංශ පිළිබඳ සිළුමිණට අදහස් පළ කළේ මේ ආකාරයෙනි.
“ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදු වූ හානිය ගණනය කිරිම අංශ කිහිපයක් හරහා සිදු කරනවා. විශේෂයෙන් සිදුව ඇති ආර්ථික හානිය අංශ කිහිපයකින් අවධානයට ලක් කෙරෙනවා. එහි එක් පිරිසක් තමයි ධීවර ප්‍රජාව. අනිත් අංශය වන්නේ සංචාරක කර්මාන්තය. විශේෂයෙන්ම මුහුදු බඩ සංචාරක කර්මාන්තයට මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී තියෙනවා. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය එහි ගණනය කිරිම් සිදු කෙරෙනවා. දේශීය සංචාරකයන් අහිමි වීම, මෙන්ම ඔවුන්ගේ රසවිදීම අහිමිවීම අපිට මුදලින් ගණනය කළ හැකි දෙයක්. ඒ වගේම විදෙස් සංචාරකයින් විශාල වශයෙන් ලංකාවට එනවා, කැස්බැවුන් දකින්න. කැස්බෑවුන් ලොව ඉන්නේ විශේෂ 6 ක් පමණයි. එයින් විශේෂ 5 ක්ම ලංකාවට එනවා. එමනිසා මේ සතුන් ආරක්ෂා කිරීමට අන්තර් ජාතික ප්‍රජාව හමුවේ ලංකාව බැඳි සිටිනවා. මෙම මියගිය කැස්බෑ සිරුරු ගණනය කළ යුත්තේ අපි දකින ප්‍රමාණයට වඩා පස් ගුණයකින් වැඩි කරමිනුයි.
මෙලෙස කැස්බෑවුන් මැරීම ගෝලීය ප්‍රශ්නයක්. මේ නිසා එම හානියත් අප ගණනය කළ යුතු වෙනවා. ඒ වගේම මේ නෞකාවෙන් කන්ටේනර් පිටින් මුහුදට විසි වූ ප්ලාස්ටික් එකතු කිරිම් ඉතා අමාරුවෙන් කර ගෙන යනවා. එවා එකතු කරන්නට ගිය වියදම, ඒවා තබා ඇති රැඳවුම් ස්ථානවලට යන වියදම අපිට ගණනය කිරිම් කළ යුතුයි. ඒ වගේම මේ නැවේ කන්ටේනර් 740 ක් ගිලිලා තියෙනවා. එහි තියෙන දේ දියවෙමින් මුහුදට එකතු වෙනවා. කිමිදුම් කරුවන් අපට පවසා සිටියා, ඒ අය මුහුද යට කිමිදෙද්දි සුදු දුමාරයක් එන බව. එය මේ නැවේ රසායනික ද්‍රව්‍යයන් විය හැකියි. මේ වන විට මුහුද සැර වැඩි නිසා නැව ඉවතට ඇඳගෙන යාම මාස තුනක් පමණ යාහැකි බව ඒ සඳහා ඉදිරිපත්වන ගැලවුම්කාර සමාගම් පවසා සිටියා. මේ අතර ප්ලාස්ටික් නිරන්තරයෙන් එකතු කිරීම් සිදු කරනවා. අපි එකත් කරගත් මේ ප්ලාස්ටික් පරිසරයට හානියක් නොවන ආකාරයෙන් බැහැර කළ යුතුයි. සමහර විට කසළ රඳවනයක් මඟින් හෝ එසේත් නැතිනම් පුත්තලම සිමෙන්ති ආයතනයේ හෝ දහනය කිරීමට හැකිදැයි සොයා බැලිය යුතු වෙනව. මෙම පරිප්පු ඇට වැනිවූ ප්ලාස්ටික් බිලියන ගණනාවක් සොයා ගෙන තියෙනවා. මෙම ප්ලාස්ටක් කැට නිසා වෙරළ රත් වෙනවා. ඒ මේ නිසා සිදුවන දරුණුතම පරිසර හානිය වන්නේ අනාගතයේ ලංකා වෙරළින් කැස්බෑ වඳවීමේ තර්ජනයයි. මේ නිසා අදටත් විදෙස් මාධ්‍ය මෙය හුවා දක්වන්නේ ලොව සිදුවු ඉතා නරක ප්ලාස්ටික් දූෂණය මෙය බවයි. මෙම ප්ලාස්ටික් කැට හරහා තවත් විනාශයක් සිදුවිය හැකි වෙනවා. මේ නැවේ තිබි පිටවූ යුරියා සාගර ජලයට මුසුවීමෙන් ඇල්ගි වර්ධනය විමයි. මේවා ප්ලාස්ටික් කැටවලට මුසු වී සුපෝෂණය විය හැකි අතර ඒවා මත්ස්‍යයින්ට හානි කරයි. මේ වන විට මේ සියලුම අංශ හරහා ගණනය කිරිම් සිදු කරමින් යන අතර අවසානයේ හානිය ගෙවීමට නියෝග ලැබිය හැකියි…“ ඒ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධනය. කෙසේ වෙතත් මේ සියලු කටයුතු ඉදිරියේදී අපේ නීති රාමුව හරහා සිදුවෙයි. අපේ පරිසර විශේෂඥයින් පවසන ආකාරයට මෙය දරුණුතම පරිසරය හානියක් වෙයි. එය අපේ පුංචි රටට කෙසේ දරා ගැනීමට හැකිවේදි යන්න ප්‍රශ්නකාරිය. තවමත් මෙය අවසන් යැයි අපට සිත සාදා ගැනීමට නොහැකිය. මන්ද මේ නැවේ ඇති හා ඉතුරු වී ඇති රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය කොතෙක්දැයි නිශ්චිත නොවන නිසාය. අක්කර 3 ක් වැනි විශාලත්වයෙන් යුතු මේ නැව අපිට ආසන්න මුහුදු සිමාවේ මුහුදු බත් වුයේ කන්ටේනර් 700 කට අධික ප්‍රමාණයක්ද සමඟිනි. එවායෙහි රසායනික තවමත් මුහුදට එක් වෙමින් තිබෙයි.
වන ජිවි දෙපාර්තමේන්තුව පවසන පරිදි මේ වන විට 150 කට වැඩි කැස්බෑ සිරුරු බස්නාහිර, නැගෙනහිර, වයඹ හා උතුරු පළාත් වෙරළ සිමාවෙන් හමු වී ඇති බවය. විවිධාකාරයේ ඩොල්ෆින් වර්ග 20 කට ආසන්න සිරුරුද හමු වී ඇත. නමුත් පරිසර විද්‍යාඥයන් පවසන්නේ කැස්බෑ මරණ ප්‍රමාණය නිශ්චිතව ගණනය කළ යුතු වන්නේ දැනට හමු වූ කැස්බෑ සිරුරු පස් ගුණයකින් ගණනය කිරීමෙන් බවය. මීට පෙර ගිනි ගත් නිව් ඩයමන්ඩ් නෞකාවෙන් කැස්බැ සිරුරු 20 ක් හමු වුවද පරිසරවේදින් නිව් ඩයමන්ඩ් නිසා මියගිය කැස්බෑ ප්‍රමාණය ආසන්න වශයෙන් ගණනය කළේ 100 ක් වශයෙනි. ඒ අනුව මෙම නෞකාවෙන් මියගොස් ඇති ප්‍රමාණය
විශාල අගයක් ගනු ඇත. පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මේ පිළිබඳව සිළුමිණට අදහස් දැක්වූයේ මෙසේය.
“මේ වන විට අපේ කණ්ඩායම මැරුණු සතුන්ගේ දත්ත එකතු කරමින් ඉන්නවා. ඒ අනුව දළ වශයෙන් කැස්බැවුන් 160 කට වඩා වැඩි ප්‍රමාණයකගේ සිරුරු හමු වෙලා තියෙනවා. නමුත් අපේ අනුමානයන්ට අනුව මැරුණු සතුන් ප්‍රමාණය ඊට වඩා වැඩියි. මේ අතර ඩොල්ෆින්ලා 16-18 කගේ සිරුරුත් හමුවුණා. සාමාන්‍යයෙන් මෙවැනි ව්‍යසනයකදි මැරුණු සතුන් ගොඩට ගොඩ ගසන්නේ 10% ක ප්‍රමාණයක් පමණයි. ධිවරයන් දැකලා තියෙනවා, තවත් මැරුණු සතුන්ගේ සිරුරු මුහුදේ පාවෙමින් තියෙන බව. මේ නිසා අපට පෙනෙන්නට තියෙන හානියට වඩා විශාල හානියක් සිදුවි ඇති බව අනිවාර්යයි. මෙම ගිනිගත් නැවේ කන්ටේනර් 700 ක අඩංගු රසායන වර්ග 42 ක් මුහුදේ විසිරි තියෙනවා. තවත් සමහරක් තවමත් සක්‍රියව මුහුදේ පවතිනවා. දෙවැන්න තමයි, මේ නැවේ ප්ලාස්ටික් මෙට්රික් ටොන් 2500 ක් තිබිලා තියෙනවා.
එයින් ගොඩබිමට පාවි ඇවිත් එකතු කර ගන්න ලැබුණේ මෙට්රික් ටොන් 1000 ක් පමණයි. ඉතුරුවා මුහුදේ හෝ වෙනත් ප්‍රදේශයකට පාවී යන්නට ඇති. මේ වන විට මෙම ප්ලාස්ටික් ඇල්ගි බැඳීම නිසා මාළු ඒවා ආහාරයට ගැනීම නිසා විශාල වශයෙන් මාළු මියයන්නට අති බවට විශ්වාස කරනවා. අපේ ඇස් දෙකින් දැක්කේ මේ නැවේන් වූ හානියෙන් සියයට 15% ක් පමණයි. තවත් 85% ක හානියක් මුහුද යට ඉතුරු වී තියෙනවා. මුහුද තුළ ඉතුරු වූ ප්ලාස්ටික් හා රසායන
ද්‍රව්‍ය නිසා වු හානිය තවමත් සිදුවෙමින් පවතිනවා. ඒ වගේම අපේ වෙරළ තීරයට එකතු වු ප්ලාස්ටික් ද්‍රව්‍ය දිරාපත් විමට තවත් අවුරුදු 500-1000 ක් අතර කාලයක් ගතවේවි. මුහුදේ වූ මේ රසායනික හා ප්ලාස්ටික් ගොඩ ගන්නා තුරු මේ සක්‍රීය පරිසර විනාශය සිදුවෙන්නට පුළුවන්, වසර ගණනාවක්. මේ පරිසර පද්ධතියට වූ හානිය මුදලින් ගණනය කරන්න බැහැ. යම් දිනක මේ බලපෑම මිනිසාටත් විඳින්නටෙ සිදු වේවි. ඒ වගේම ප්ලාස්ටික් නිසා වූ පරිසර හානිය නම් තවත් වසර 400-500 ක් පවතින්නට පුළුවන්. මෙය ලංකවේ මෑත කාලයේ සිදුවු දරුණුතම පරිසර විනාශයයි…..‘
මේ වන විට වෙරළට ගොඩ ගැසූ ප්ලාස්ටික් බෝල මෙට්රික් ටොන් 890 ක් එකතු කර බහාලුම් 42 ක රැස්කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එසේම නැවේ ප්ලාස්ටික් බෝල අඩංගු බහාලුම් 60 කට ආසන්න ප්‍රමාණයක් ඇති බවද ඔවුන් පවසයි. එහි අඩි 20 ක බහාලුමක කිලෝ ග්රැම් දහසය දාහක් පමණ ඇති අතර මේවා සමඟ විශාල වශයෙන් වැලිද තැන්පත් වී ඇත. වසර ගණනක් පුරාවට විහිඳෙන මේ ගැටලුව නැව විනාශ වූ වේගයෙන්ම අවසන් නොවන බව තහවුරුය.