පාසල නිමවී නිවසට ගෙනයාමට අමතකවී පාසල් බස් රථයක දමා ගිය වයස අවුරුදු 5 ක ශ්‍රී ලාංකික දරුවෙකු තම දෙමාපියන් සොයා තනිව කිලෝ මීටරයකට වැඩි දුරක් පයින් ඇවිද යමින් සිටියදී සොයා ගැනීම සම්බන්ධ පුවතක් ඔස්ට්‍රේලියාවේ Coober Pedy කලාපයෙන් වාර්තා වී තිබෙනවා.
දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Coober Pedy Area පාසලේ ඉගෙනුම ලබන එම දරුවා අදාළ පාසල් බස් රථයේ දමා ගොස් සිටියදී යි මෙම සිදුවීම වාර්තාවී ඇත්තේ.
ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා පවසන්නේ ,තිනුල රයෝන් හෙට්ටිආරච්චි නමැති පස් හැවිරිදි දරුවා පාසල නිමවී නිවස අසලින් බැස්වීමට අදාළ පාසල් බස් රථයේ රියදුරුට අමතකවී ඇති බවයි.
පාසැල් ළමුන් බැස්වීමෙන් අනතුරුව අවසානයේ බස් රථය නවතා තැබීමෙන් පසුව මෙම දරුවා පමණක් බස් රථය තුල හුදකලාවී තිබෙනවා.
එම ස්ථානයේ සිට තිනුල ගේ නිවසට කිලෝ මීටර් 10 ක පමණ දුරක් ඇති අතර ඉන් කිලෝමීටරයක පමණ දුරක් දැඩි වියලි කාන්තාර පරිසරයක ඇවිද එමින් සිටියදී මෙම දරුවා සොයාගෙන තිබුණා.
“මගේ දරුවා බස් රථයේ දොර විවෘත කර අපව සොයා ගැනීමට කිලෝමීටරයක් පමණ ඇවිදිමින් සිටියා.” යනුවෙන් තිනුල ගේ පියා වන ගයාන් ඉඳුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර තිබුණා.
තිනුලගේ දෙමාපියන් විසින් විශ්වාස කරන පරිදි ඔහු තමන්ගේ පාසල් බෑගයත් සමග සෙල්සියස් අංශක 32 ක උෂ්ණත්වයක් තිබියදී පැයකට වැඩි කාලයක් නිවෙස සොයා ඇවිදිමින් ගමන් කර තිබෙනවා.
කුඩා දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ මීට වඩා සලකිලිලෙන් කටයුතු කළ යුතු බව තිනුලගේ දෙමාපියන් බලධාරීන්ට දන්වා ඇතැයි ද මෙම වාර්තාවේ සදහන්.
තිනුල රයෝන් හෙට්ටිආරච්චි නමැති දරුවාගේ දෙමාපියන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් වන අතර ඔවුන් මීට වසර 4 කට පමණ පෙර දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Coober Pedy වෙත පැමිණ තිබෙනවා.
තමා බස් රථය තුළ බොහෝ වේලාවක් බලා සිටි බවත් එහිදී අධික බිය හේතුවෙන් ඔහුට මුත්‍රා පහවූ බවත් අවසානයේ බස් රථයේ දොර විවෘත කර බැස ගිය බවත් තිනුල තම දෙමාපියන්ට පවසා තිබුණා.
“වාසනාවකට ඔහු වමට හැරුනේ, ඔහු දකුණට හැරුනානම් පතල් කනින ස්ථාන බොහොමයක් තිබෙනවා, එහෙම වුණානම් මොනවා වෙයිද කියලා හිතන්න අමාරුයි.” “මම කියන්නේ ක්‍රියා පටිපාටිය පමණක් අනුගමනය නොකර සෑම සේවා මුරයක් අවසානයේදීම බස් රථය තුළ හොඳින් පරීක්ෂා කර කිසිවෙකුත් ඒ තුළ නොමැති බවට සනාථ කරගත යුතුයි.”
යනුවෙන් මෙම දරුවාගේ පියා මාධ්‍ය වෙත සදහන් කර තිබෙනවා.
පාසල වෙත නිල පැමිණිල්ලක්
තිනුල මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් පසුවදාම පාසල වෙත නිල පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදුනොවීමට පියවර ගන්නා බවයි අදාළ පාසල දරුවාගේ දෙමාපියන්ට දන්වා ඇත්තේ.
මෙම දරුවා සොයාගෙන තිබුණේ ප්‍රදේශයේ පදිංචි Ariane Montminy-Roberge නමැති කාන්තාව විසිනුයි.
තමන්ට තිනුලව මුණගැසෙන විට ඔහු කැළඹීමෙන් සිටි නමුත් ඔහුගෙන් කෙසේදැයි විමසු විට ඔහු හොඳින් යයි පැවසූ බවත් ඇය හෙළිකර තිබෙනවා.
“මම මගේ මිත්තණියව සොයනවා.” යනුවෙන් දරුවා පැවසූ බවයි ඇය මාධ්‍ය වෙත සදහන් කළේ.
“මම ඔහුව සොයා නොගත්තේ නම්, ඔහු වෙනත් දිශාවකට ගමන් කළේ නම්, මේ දරුවාට සිදුවූයේ කුමක්දැයි කිසිවෙකුත් දැනගන්න එකක් නැහැ.” යනුවෙන් ඇය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.