ඕක්ලන්ඩ් ප්‍රහාරකයා ගැන CID විශේෂ විමර්ශනයක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳසැලකදී ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කළ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පොලිස් මුලස්ථානය සඳහන් කළේ සැකකරු සමඟ සමීපව සම්බන්ධ වූ පුද්ගලයන්ගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි. අයිසිස් සංවිධානයට සම්බන්ධ බවට සැක කරන මෙම පුද්ගලයා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වී එහි සිටි පිරිසකට තියුණු ආයුධයකින් පහර දී තිබුණා. කෙසේ වෙතත් වහා ක්‍රියාත්මක වූ නවසීලන්ත ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධියේදී පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලැබූ අතර නවසිලන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ දැඩි අන්තවාදියෙකු වන සැකකරු ශ්‍රී ලාංකිකයෙකු බවයි.

ප්‍රහාරකයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන අනුව පෙනී ගොස් ඇත්තේ ඔහු මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. 2011 වසරේදී ශිෂ්‍ය වීසා මත නවසීලන්තයට මෙම පුද්ගලයා ගොස් තිබෙනවා. මොහොමඩ් සමිසුදීන් අදීල් නමැති මොහු සම්බන්ධයෙන් නවසිලන්ත ආරක්ෂක අංශ දැඩි අධීක්ෂණයකින් යුක්තව කටයුතු කළා. ප්‍රහාරයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු කලක් නවසීලන්තයේ බන්ධනාගාරගතව සිටි මෙම පුද්ගලයා අධිකරණ තීන්දුවක් මත මුදා හරිනු ලැබුවා. එහෙත් නවසීලන්ත ආරක්ෂක අංශ ඔහු වටා පැය 24 මුළුල්ලේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර සුපිරි වෙළෙඳසැලේ ප්‍රහාරයේදී ක්‍රියාත්මක වූයේද එම ආරක්ෂක කණ්ඩායමට අයත් පිරිසයි. මෙම පුද්ගලයා නවසීලන්තයෙන් පිටුවහල් කිරීම සඳහා එරට රජය 2019 වසරේදී පියවර ගෙන තිබූ අතර ඔහු අභියාචනයක් ඉදිරිපත් කිරීම නිසා නීතිමය තත්ත්වය දිග්ගැසෙමින් තිබුණා.

පුවත යවන්න