ඖෂධ ආනයනයට ඩොලර් දෙන්න බැරිනම් මිල වැඩි කරන්න ඉල්ලයි

ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් මුදා හළ නොහැකි නම් පාලන මිල ඉවත් කිරීම හෝ ඖෂධ මිල සියයට පහළොවකින් ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.

ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට ඩොලර් නොමැති බව වාණිජ බැංකු ප්‍රකාශ කිරීම හේතුවෙන් ආනයනකරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇත. එමනිසා කර්මාන්ත මණ්ඩලය අමාත්‍යාංශයෙන් අදාළ ඉල්ලීම සිදුකර තිබේ.

2021 වර්ෂයේ අගෝස්තු මස ඖෂධ මිල සියයට නවයකින් ඉහළ දැමීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඖෂධ සැපයීම හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය විසින් අවසර ලබා දෙන ලදී. ඒ වන විට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 176කට අලෙවි වුවද මේ වන විට එය රුපියල් 230 ඉක්මවා ඇති බව ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය පැවැසීය. අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවේ පැරසිටමෝල් පෙති නිපද වීමද අඩාළ වී ඇත. පැරසිටමෝල් පෙත්තක පාලන මිල රුපියල් එකයි ශත පනස් නමයකි. අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා එම පාලන මිලට පැරසිටමෝල් නිපදවිය නොහැකි බව සමාගම් විසින් පෙන්වා දී තිබේ.

පවතින තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයද මුදල් අමාත්‍යාංශය හා ඖෂධ සැපයීම් නිෂ්පාදන පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කළද මෙතෙක් විසඳුමක් නොලද බව ආනයනකරුවෝ පවසති.

අරුණ

පුවත යවන්න