ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකුවේ උවමනාවෙන් / සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා රිමාන්ඩ්

එපික් ලංකා ටෙක්නොලජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධණාගාරගත කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද(29) මෙම නියෝග කළේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඖෂධ නියාමන අධිකාරියට(NMRA) අයත් මෙරටට ඖෂධ හා උපකරණ ආනයනය කිරීමට අදාළ දත්ත 11,000 කට අධික ප්‍රමාණයක් මකා දැමීම අත්වැරදීමකින් සිදුවූ දෙයක් නොව හිතාමතාම සිදුකළ දෙයක් බව පරිගණක විද්‍යාව පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් තුන්දෙනෙකුගේ සහාය ඇතිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව(CID) සිදුකළ වෝහාරික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ සැකකාර සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයා ඔහුගේ නිවසේ සිට 2021 ජූලි 09 වැනිදා අලුයම 3.45 සිට පසුදින උදෑසන 10.25 දක්වා පැය 5 කට අධික කාලයක් වැය කරමින් සිදු කර ඇති එම දත්ත මකා දැමීම ඖෂධ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවය මත සිදුකළ ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක් වන බවය.

අත්වැරදීමකින් එම දත්ත පද්ධතිය මැකී ගිය බවට ආයතනයේ නිලධාරීන් ඉදිරියේ ඔහු රඟපෑමක් කර ඇති බවට අනාවරණව ඇතැයිද දිලීප පීරිස් මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ සැකකරු එම සේවා ආයතනයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉන් දින 10 කට පෙර ලබාදී වෙනත් සේවා ස්ථානයක් කරා යාමට සුදානම්ව සිටියදී එලෙස දත්ත මකා දැමීම සිදුකර ඇති බවය.(NF)

පුවත යවන්න