ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 25 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මෙම පැමිණිල්ල කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා.එහිදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජයනි වෑගොඩපොල මහත්මිය ප්රකාශ කළේ ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු ළග තිබී ලැප්ටොප් පරිගණක දෙකක් ටැබ් යන්ත්රයක්, ජංගම දුරකතන තුනක් සහ දත්ත බහාලුම් දෙකක් අත්අඩංගුවට ගත් බවයි. මෙම උපකරණ සියල්ල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරීක්ෂනාගාරය වෙත යොමු කර විමර්ශනයක් සිදු කොට වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥවරිය ඉල්ලීමක් කළා. එම නියෝගය පිළිගත් මහේස්ත්රාත්වරයා අදාළ උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කළා. එමෙන්ම අදාළ සැකකරුගේ ප්රකාශ සටහන් කර ගැනීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීමටද මහේස්ත්රාත්වරයා අනුමැතිය ලබා දුන්නා.