කන්න බොන්නත් නැතිව සම­හර කලා­ක­රුවෝ පාරට වැටිලා

එළිමහන් ප්‍රසංග වේදිකාව කඩා වැටුණේ මීට වසර දෙකකට පෙරාතුවය. එතකොට කොවිඩ් ඇවිත් නැත. පාස්කු ප්‍රහාරය එළිමහන් ප්‍රසංග වේදිකාවත් විනාශ කළේය. කොවිඩ් ආවේ ඒ විනාශ වූ වේදිකාව යළි ගොඩනඟන්නට අවශ්‍ය පරිසරය සොයන විටය.

බිඳ වැටුණු සමාජ ආර්ථික ක්ෂේත්‍ර යළි ගොඩනැඟිය හැකි ප්‍රවේශ සොයමින් සැලසුම් සකස් වෙමින් ඇත. ඒ සැලසුම් අතරට වුවත් එළිමන් ප්‍රසංග වේදිකාව පැමිණ නැත. ප්‍රසංග වේදිකාව සමඟ බැඳුන වෘත්තීය ජීවිතයක් ගත කළ ගායක ගායිකාවන්, නිවේදකයන්,සංගීත ශිල්පීන්, නර්තන ශිල්පීන්,ශබ්ද වාහිනී මෙන්ම ආලෝක කරණ උපකරණ සපයන්නන්, ඇතුළු බොහෝ දෙනෙක් මේ වනවිට ගතකරමින් ඉන්නේ බිඳවැටුණු ජීවිතයකි. මෙ ඔවුන් රසඳුනට කියන කතාවය.

ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංගමයේ( JASPA) සභාපති රොෂාන් ප්‍රනාන්දුය. රොෂාන් මුලින්ම අප සමඟ සංවාදයට එක් විය.

“ එළිමහන් ප්‍රසංග වේදිකාව දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් නිහඬයි. සාමාන්‍ය ජනතාවගේ හිත් හදපු කලාකරුවන් දැන් ආර්ථික වශයෙන් වගේම මානසික මට්ටමින් පල්ලෙහා තැනකට වැටිලා. ඒ තමන්ගේ වෘත්තිය ජීවිතය කඩාවැටීම නිසා. මම යම් ස්ථාවර මට්ටමක ඉන්නවා. ප්‍රසංග වේදිකාව එක්ක හිටපු සුළු පිරිසයි එහෙම ස්ථාවර මට්ටමක ඉන්නේ. එළිමහන් ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වෙලා හිටපු බොහෝ පිරිසකට අද වෙනත් වෘත්තීන්ට යොමු වෙන්න සිදුවෙලා. සමහරු එළවළු විකුණනවා. වාහන පදවනවා.

ප්‍රසංග වේදිකාව ඇසුරෙහි ගොඩනැගුණු කලාකරුවන්ට හා ශිල්පීන්ට අවුරුදු සමය තමයි සක්‍රීයව රැකියාව කරන්න පුළුවන් හොඳම කාලවකවානුව. මේ සිංහල අවුරුද්දට හරි ප්‍රසංග වේදිකාවට ජීවය දෙන්න ලැබෙයි කියන විශ්වාසයෙන් අපි ඉන්නෙ. සමහරුන්ට හිතෙන්න පුළුවන් මෙච්චර ව්‍යසනයක් වෙලා තිබෙන වෙලාවක අපි ප්‍රසංග පටන් ගන්න කතා කරනවා කියලා. අපි ඉල්ලන්නේ අනෙක් වෘත්තීන් සියල්ල සක්‍රීය වෙලා තියෙන මොහොතක සෞඛ්‍යාරක්ෂිත විධි නියමයන් යටතේ ප්‍රසංග වේදිකාව සක්‍රීය කරන්න කියලා. එළිමහන් ප්‍රසංගයක් නරඹන්න එන පිරිස සීමා කරලා සෞඛ්‍යාරක්ෂිතව එළිමහන් ප්‍රසංග පවත්වන්න අවස්ථාව ලැබුණොත් හොදයි. අපි සියලුම එළිමහන් ප්‍රසංගවලට අදාල සංගම් එකතු වෙලා ලබන සතියේ අගමැතිතුමාට ලිපියක් ඉදිරිපත් කරනවා. අපි හිතනවා අපේ ඉල්ලීමට හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.

අපි කරන්නේ මානුෂික ඉල්ලීමක්. එළිමහන් වේදිකාවට සම්බන්ධ වෘත්තිකයන් ලක්ෂ දෙකක් විතර. ඔවුන්ගෙන් යැපෙන පිරිස ලක්ෂ හතක් විතර. ඔවුන් සියලු දෙනා වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. කොවිඩ් උවදුර රටින් තුරන් කිරීමේ පුරවැසි වගකීම අප සතුව තිබෙනවා. ඒ වගකීමත් දරමින් යම් ක්‍රමවේදයකට එළිමහන් වේදිකාව සක්‍රීය කරන්න අවසර ඉල්ලන්නේ.

ශ්‍රී ලංකා එළිමහන් ප්‍රසංග වේදිකා නිවේදක සංසදයේ සභාපති සේනක උබේසිංහය. සේනක තමන් හා සම්බන්ධ නිවේදක පිරිස් අද පත් වී සිටින තත්ත්වය ගැන අපට කීවේය.

ලංකාවේ ප්‍රාසාංගික කලාවට සම්බන්ධ පුද්ගලයන් කාටවත් බරක් නොවී තමන්ගේ හැකියාවට මිලක් හදාගෙන ජීවත් වුණු පිරිසක්. ලංකා එළිමහන් වේදිකා නිවේදක සංගමය එක්ක ඉන්න විශාල පිරිසක් පූර්ණකාලීනව නිවේදනය කළ අය. ප්‍රසංග වේදිකාව එක්ක ඉන්න අයට කාලෙන් කාලෙට විවිධ අර්බුදවලට මුහුණ දෙන්න වුණා. එවැනි අර්බුදකාරි අවස්ථාවල පිටරටවල ප්‍රසංගවලට හරි යන්න පුළුවන්කම තිබ්බා. දැන් තියෙන තත්ත්වය එක්ක ඒ අවස්ථාවත් නැති වෙලා. මේ නිසා ඔවුන් ලොකු අකරතැබ්බයකට මුහුණ දීලා ඉන්නේ. රජයේ කාරුණික අවධානය යොමු වෙලා කාටවත් කරදරයක් නැති කලාකරුවන් වෙනුවෙන් යම් සහනදායි පියවරක් ලබා දෙන්න යැයි අපි ඉල්ලනවා.

සුප්‍රියා අබේසේකර ප්‍රසංග වේදිකාව එකෙළි කළ ගායිකාවකි. ඇය නියෝජනය කරන ගායක ගායිකා පරපුම දැන් ඉන්නේ අසීමිත දුර්භෝග විඳිමිනි.

2019 වර්ෂයේ සිදුවුණ පාස්කු ප්‍රහාරය එක්ක අපේ කර්මාන්තය කඩාවැටුණා. කොරෝනා ප්‍රශ්නය නිසා ගිය අවුරුද්දම අපිට වැඩ කරන්න ලැබුණේ නැහැ. මේ සිංහල අවුරුද්දටවත් අපිට ප්‍රසංග පවත්වන්න බැරි වුණොත් ඒක අපිට ලොකු බලපෑමක් . ගායක ගායිකාවන්ගේ ඉඳන් එළිමහන් ප්‍රසංගයක් පවත්වද්දි එතනට ඇවිත් කඩල විකුණන මනුස්සයා දක්වා කී දෙනෙක් මේ ක්ෂේත්‍රයෙන් ජීවත් වුණාද?

මම හම්බ කරගත්ත දේවල් කළමනාකරණය කරගෙන යම් ස්ථාවරයක ජීවත්වෙන ගායිකාවක්. නමුත් අපි එදිනෙදා ජීවත් වෙන්න හදාගත්ත විදිහක් තිබුණා. ඒ සියල්ල දැන් නැති වෙලා. එළිමහන් ප්‍රසංග වේදිකාව කඩාවැටීමත් එක්ක බොහෝ කලාකරුවන් පාරට වැටුණා. ඒක කනගාටුවට කරුණක්.

දැන් බොහෝ ක්ෂේත්‍රවල වැඩකටයුතු අරඹලා. එළිමහන් ප්‍රසංග වේදිකාව විතරයි සක්‍රීය නැත්තේ. අපි රජයෙන් වැටුපක් ගන්න පිරිසක් නෙමෙයි. අපේ හැකියාවෙන් අපි ජීවත් වුණේ. පහුගිය කාලේ කලාකරුවන්ට ණය දුන්නා. හැබැයි එය ලැබුණේ සීමිත පිරිසකට. ඒ ණය ලැබුණු අයට දැන් ඒ වාරික මුදල් ගෙවන්න තියෙනවා.

වැඩ නොකර කොහොමද ඒ මුදල් ගෙවන්නේ. කලාකරුවෝ කායිකව මානසිකව වැටිලා ඉන්නේ. කොරෝනා කාල සීමාවේ බොහෝ ගායක ගායිකාවන් සංගීත ශිල්පීන් මිල මුදල් ගැන නොහිතා අනෙක් අයගේ හිත් සුවපත් කරන්න කැපවෙලා කටයුතු කළා. අනෙක් අයගේ හිත් සුවපත් කළ කලාකරුවන්ගේ හිත් සුවපත් කරන්න දැන් කවුද ඉන්නේ. අපේ ජීවිත එක තැන නැවතිලා වගේ.

සමහර කලා ශිල්පීන් අසනීපයි. කන්න නැතුව ඉන්නවා සමහරු. අපි ඉල්ලන්නේ අපේ රැකියාව කරන්න අවසර දෙන්න කියලා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව අපිට ප්‍රසංග පවත්වන්න ඉඩදෙන්න කියලා. කොරෝනා තත්ත්වය හමුවේ පාලනයක් ඇතුව වැඩ කරන්න අපිට පුළුවන්. ප්‍රසංගයක් නරඹන්න එන පිරිස සීමා කරලා දුරස්ථබව රැකගෙන වැඩ කරන්න අපි කැපවෙනවා . අපි පාරවල් දිගේ ගිහින් උද්ඝෝෂණ කළ පිරිසක් නෙමෙයි. කලාකරුවෝ කියන්නේ සංවේදි පිරිසක්. කලාකරුවෝ අවලංගු කාසිබවට පත් නොකර යම් නිර්දේශ අනුව එළිමහන් ප්‍රසංග පවත්වන්න අවසර දෙන්න කියන අපේ ඉල්ලීමට හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියන බලාපොරොත්තුවක අපි ඉන්නවා.

පුවත යවන්න