හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මැයි මස 02 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (18) යළි සිතාසි නිකුත් කළේය.
ඒ ඔහු ඉකුත් හත්වැනිදා මහේස්ත්රාත් අධිකරණය මගින් නිකුත් කළ සිතාසි අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
ඒ මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ද මැයි මස 02 වනදා තෙක් දීර්ඝ කරන බව අධිකරණය සඳහන් කළේය.
කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ එසේ නැවත සිතාසි නිකුත් කෙරිණ.
අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණය මගින් සිතාසි නිකුත් කරනු ලැබුවේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ වකවානුව තුළ භාණ්ඩාගාර බිල්පත් සිය සමීපතයන්ට අලෙවි කරමින් රජයට පාඩු සිදු කළ බවට වූ පැමිණිල්ලකට අදාළවයි.
චෝදනා 6 ක් මත හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ මෙම පෞද්ගලික පැමිණිල්ල සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවල මහතා අධිකරණය හමුවේ අද පෙනී සිටින ලෙස දන්වමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉකුත් 07 වැනිදා සිතාසි නිකුත් කෙරිණ.
තවද එදින පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්රාත්වරයා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේ ය.