කාදිනල් හිමියන්ගේ චෝදනාවට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාර

දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය වාර්තා වී පැය 24ක් ගතවීමටත් පෙර එම සිද්ධිය ගැන සිදුකරන පොලිස් විමර්ශන විවේචනය කිරීම සාධාරණ නොවන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද ප්‍රකාශ කළා.

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මාධ්‍යවේදියා – “බොරැල්ලේ දෙවස්ථානයක අත්බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් කාදිනල්තුමා දිගින් දිගටම චෝදනා කරනවා ?”

ආරක්ෂක ලේකම් –  “පරීක්ෂණයක් පැවැත්වෙනවා කියන්නේ පැය 2ක් 3ක් ඇතුලත අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුලත ඒ සිද්ධිය ගැන විවේචනය එල්ල කළාට ඒක මං හිතන්නේ නෑ සාධාරණයි කියලා.”

“අත්බෝම්බයක් හමුවෙලා තියෙනවා.  බෝම්බය  එතනින් තියපු කෙනාව අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් ඒ මාර්ගයෙන් ගිහිල්ලා තව අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම කරන්න තියෙනවා. එ්වා කරගෙන යනවා. පැය 2ක 3ක් ඇතුතල එහෙම නැතිනම් පැය 24ක් ඇතුලත මේ පරීක්ෂණ අවසන් කරලා අත්අඩංගුවට ගැනීම් සිදුකරන්න පුළුවන් නම් එක ප්‍රාතිහාර්යක් විය යුතුයි.” 

“මම ආරක්ෂ ලේකම් විදියට සහතියක් දෙනවා රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් සියලුම පුද්ගලයින් නීතියේ රැහැනට ගෙනවා කියලා.” 

මාධ්‍යවේදියා – “කාදිනල්තුමා චෝදනා කරනවා උදේ සිට CCTV දර්ශන නරඹන්නේ නැතුව මේ පුද්ගලයා ආරක්ෂා කරන්නද හවස 3න් පස්සේ CCTV දර්ශන නරඹන්නේ කියලා ?”

ආරක්ෂක ලේකම් – “මම හමුදා නිලධාරියෙක්. මම දන්නවා යුද්ධ කරන්න. නමුත් ඔය වගේ විමර්ශන දේවල් කරන්න මට තියෙනවාට වඩා දැනුමක් රහස් පොලීසියට තියෙනවා. කාදිනල් වහන්සේ එහෙම ප්‍රකාශ කළාට, උන්හන්සේ හිතනවාට වඩාදුර හිතලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න රහස් පොලීසියටත්, පොලීසියටත් හැකියාව තියෙනවා.” 

“ඒ අයට පරීක්ෂණ කරන විදිය උගන්නන්නේවත් ඒ පරීක්ෂණ කරන විදිය විවේචනය කරන්නෙවත් නැතුව පොඩ්ඩක් ඒ පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. තව දවස් කිහිපයක් යනකොට විස්තර මහජනතාවට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම කාදිනල් උන්නාන්සේටත් දැන ගන්න පුළුවන් වෙයි.” 

මාධ්‍යවේදියා – “ඒ වගේම පොලිස්පතිට බැරිනම් කෝට් එක ගලවලා යන්න කිව්වා. ඔබතුමා ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවාද ?”

ආරක්ෂක ලේකම් – “කාදිනල් හිමියන්ට මගේ තියෙන ගෞරවය නිසා.. මොකද උන්වහන්සේ නෙමෙයි පොලිස්පතිතුමාට කොට් එක දුන්නේ. මම දන්නේ නෑ කාදිනල් හිමියන්ට අයිතියක් තියෙනවාද කියන්න පොලිස්පතිතුමාගේ කොට් එක ගලවලා යන්න කියන්න. නමුත් එක උන්වහන්සේගේ අදහස වෙන්න පුළුවන්. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. පොලිස්පතිතුමා නම් ඔය කිව්ව පමණින් කෝට් එක ගලවලා යන එකක් නෑ. නමුත් පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන පරීක්ෂණ නිසිපරිදි මෙහෙයවනා කියන එක මම ආරක්ෂක ලේකම්වරයා හැටියට දන්නවා.”

පුවත යවන්න