කොරෝනා ආසාදිත දරුවන් කිහිප ගුණයකින් ඉහළට

දරුවන්ට කොවිඩ් රෝගය වැළඳීමේ උපරිම ධාරිතාවකට පැමිණ ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා.

අද (07) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු  පැවසුවේ කොරෝනා ආසාදිත දරුවන් ගණණ කිහිප ගුණයකින් වර්ධනය වී ඇති බවයි.

“කුඩා දරුවන්ට මේ සම්බන්ධ අවදානමේ යම්කිසි උපරිම අවස්ථාවකට මේ අවස්ථාවේ දී ඇතිවෙලා තියෙනවා. එම නිසා දරුවන් ගැන වැඩිපුර අවදානය කරන්න සහ දරුවන් ට මේ රෝගය වැලඳීම වැළැක්වීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වශයෙන් අපේ යුතුකම ඉතා හොඳින්ම අවශ්‍ය අවස්ථාවක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර යනකොට ප්‍රතිශතය අඩුවුණත් සංඛ්‍යාව වැඩිවීම නිසා දරුවන් තුළත් සංකූලතා ඇති දරුවන් බහුලව දක්නට ලැබෙන්න පුළුවන්. මේ දිනවල දරුවන් නිවස තුළමයි සිටින්නේ. ඔවුන්ව අනවශ්‍ය ලෙස සමාජයට රැගෙන යෑම සහ රෝගය සහිත පුද්ගලයින්ට නොදැනුවත්වම පිටත සමාජයේදී නිරාවරණය වීම වැළැක්වීම දෙමාපියන්ගේ ඉතා විශාල වගකීමක් හා යුතුකමක්.”

මේ අතර අවුරුදු දෙකට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් රෝග ලක්ෂණ නොමැති නම් නිවසේ දීම රැකබලාගත යුතු බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා.

“පළමු මාස 6ක් ඇතුළත දරුවා ඉන්නවා නම් කොහොමත් මව්කිරි ලබාදිය යුතුයි. අපි අවුරුදු 2කට අඩු ළමයින්ව රෝහලට ඇතුළත් කර ගන්නවා. නමුත් ඉස්සරහට රෝග ලක්ෂණ නැති වුණොත් දෙමාපියන්ට රෝගය තිබුණත් මව්කිරි ලබාදීම දිගටම ලබාදිය යුතුයි. දෙමාපියන් බය වෙනවා උණ තියෙන දරුවන්ට ෆිට් එක හැදෙයි කියලා. එහෙම බය වෙලා පැරසිටිමෝල් අනවශ්‍ය විදියට ලබාදෙන්න සුදානම් වෙනවා. ඒ වගේ දේවල් හොඳ නෑ. කිලෝ ග්‍රෑම් 1කට මිලිග්‍රෑම් 15ක් වන සේ දවසට උපරිම විදියට 4 සැරයක් පමණක් ලබාදිය යුතුයි. එයට වැඩිය පැරසිටිමෝල් ලබාදුන්නොත් අක්මාවට හානිවෙන්න පුළුවන්. ගෙදර දී දරුවා බලාගන්නා වෙලාවේ දී දරුවන්ට ආරක්ෂාව, විවේකය හා පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාදිය යුතුයි.”

පුවත යවන්න