කොරෝනා වෛරසය පරදන්න සාර්ථක ප්‍රති වෛරසයක්

ලොවට වසංගතයක් වූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය නැසීමට ප්‍රතිවයිරසයක් පර්යේෂණාගාරයක් තුළ නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යායන් සමත් වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයට අනුයුක්ත මෙන්සියස් සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවයිරසය කෘත්‍රිමව නිපදවා ඇත්තේ ‘කොවිඩ් 19’ ජාන කේතය හඳුනා ගැනීමෙන් පසුව බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

දැනට පර්යේෂණ මට්ටමේ පවතින මෙම ප්‍රතිවයිරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වයිරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ඇති බව ද සදහන්.

මීයන් යොදා ගනිමින්, උන්ට ‘කොවිඩ් 19’ වයිරසය අාසාදනය වීමට සලස්වා පසුව කෘත්‍රිමව නිපදවූ ප්‍රතිවයිරසය උන්ගේ සිරුරුවලට ඇතුළු කර තිබෙනවා.

එම අවස්ථාවේදී, මීයන්ගේ පෙනහළුවල ‘කොවිඩ් 19’ වයිරස විෂබීජ සියයට 99.9 ක් විනාශ කර දැමීමට නව ප්‍රති වයිරසය සමත් වී තිබෙනවා.

ආර්.එන්.ඒ අණුවලින් සමන්විත මෙම ප්‍රතිවයිරසය සර්ථක වුවහොත්, ඉදිරියේ දී එය එන්නත් මගින් කොරෝනා ආසාදිත රෝගීන්ට ලබා දී, ඔවුන් සුවපත් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව ද මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් මෙම ප්‍රති වයිරසය නිපදවීම කර ඇත්තේ ‘ජීන් ස්ලයිසින්’ නමැති ජාන වෙනස් කිරීමේ තාක්ෂණය යොදා ගනිමිනුයි.

පුවත යවන්න