2019අප්‍රේල් 21 ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් එක් අඳුරු දිනයක් විය. ලොවක් කම්පා කරවමින් එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් කුඩා දරුවන් ද ඇතුළු පුද්ගලයන් 277 දෙනෙකු මරණයට පත්කරමින්, ළමුන් සිය ගණනකට තම මවුපියන්, නෑ හිතවතුන් අහිමි වූයේ ලංකා ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් ඉතිරි කරවමිනි. ලොවක් කම්පා කරවමින් සිදු වූ මේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ වින්දිතයන් අදටත් සාධාරණය වෙනුවෙන් හඬ නඟති.
ඔවුන්ගේ ප්‍රධානම චෝදනාවන් අතර මුල් තැනක් ගන්නේ කල්තියා මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබියදී මෙවන් ප්‍රහාර මාලාවක් වළක්වා නොගත්තේ ඇයි ද යන්නය. නොසැලකිලිමත් බව, රාජ්‍ය වගකීම් පැහැර හැරීම, අනතුරු කල්තියා හඳුනා ගෙන තිබුණ ද මෙවන් බුද්ධි තොරතුරු සුළුවෙන් තැකීම, ආරක්ෂක ප්‍රධානීන් තම වගකීම් පැහැර හැරීම වැනි කරුණු කෙරේ මීට වඩා අවධාරණයෙන් කටයුතු කළේ නම් මෙවන් ප්‍රහාරයක් සිදු නොවන්නට තිබුණු බවකි.
බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමි වූ පියකු වූ නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනකු, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක, ජනක එස්. විතානගේ, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු, සමන් නන්දන සිරිමෙවන්, දිනුක ලක්නාත් පෙරේරා, සුනිල් පෙරේරා, අශෝක් ස්ටෙෆන් පියතුමා, හිල්මි අහමද්, ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, සීරංගන් සුමිත්‍ර, විසාකේස චන්ද්‍රෙස්කරම්, කසුන් පුස්වැල්ල, නීතීඥ මෝදිත ටිකිරි බණ්ඩා යන අය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ගොනු කළේය.
ඒ මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා පහත වගඋත්තරකරුවෝ කටයුතු නොකළ බවට පැමිණිලි කරමිණි. එබැවින් වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා තිබුණි. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින ප්‍රහාරය වළක්වා ගැනීමට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු බලධාරීන් කටයුතු නොකිරීම නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා ගොනු කළ මෙම පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත යුතු බවට 2021 නොවැම්බර් 16 දින තීන්දු කළ අතර, 2022 මාර්තු 14 වැනි දින එය මුල් වතාවට විභාගයට ගැනුණි.
එම සත් පුද්ගල විනිසුරු මඩුල්ලට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ඇතුළත් වූ අතර විටින් විට මෙම පෙත්සම් විභාගයට ගැනීම කොවිඩ් වසංගත තත්ත්වය නිසා වරින් වර කල් ගියේය.
මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවේ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත්වූයේ තවත් ඓතිහාසික තීන්දුවක් ඉතිහාසයට එක්කරමිනි. ඉතිහාසයේ ප්‍රථම වතාවට මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමකදී හිටපු ජනාධිපතිවරයකුට සිය පුද්ගලික මුදලින් වැඩිම වන්දි මුදලක් ගෙවීමට තින්දු වෙමිනි. ඒ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100 ක වැඩිම වන්දි ගෙවීමට තීන්දු විය. හිටපු ජනාධිපතිවරයෙකුට විරුද්ධව මීට පෙර මූලික අයිවාසිකම් නඩු තීන්දුවක් ප්‍රකාශ වූයේ 2008 ඔක්තෝබර් 8 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධන විසිනි. ඒ සුගතපාල මෙන්ඩිස් හා තවත් අය විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට හා තවත් අයට එරෙහිව දැමූ වෝටර්ස් ඒජ් මූලික අයිතිවාසිකම් නඩුවෙන් රුපියල් මිලියන 3 ක් රජයට ගෙවීමටය. මෙම පාස්කු තීන්දුවේදි හිටපු ජනාධිපතිවරයා පමණක් නොව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළේය.
මෙම ඓතිහාසික තින්දුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියම විය. ඊට අමතරව රජයේ විසින් මිලියනයක වන්දි ගෙවිය යුතු බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙසත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය. මෙම ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන් සඳහා ‘අරමුදලක්‘ ස්ථාපිත කරන ලෙසටත්, එම අරමුදල වෙත අදාළ වන්දි මුදල් බැර කරන ලෙසත් අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නියෝග කර ඇත. අදාළ වන්දි මුදල් මාස 06ක් තුළ ගෙවා අවසන් කළ යුතු බව අධිකරණය වගඋත්තරකරුවන්ට දැනුම් දුන් අතර එම අරමුදලේ කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම පවරා ඇත්තේ නීතිපතිවරයාටය.
පිටු 124 කින් සමන්විත මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විවිධ පාර්ශ්ව විසින් සිය වගකීම් පැහැර හැරී ආකාර පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය. 2015 වසරේ සිටම සහරාන් හෂිම්ගේ ඇතුළු පිරිස්වල විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ අනතුරු හැඟවීම් තිබුණ බව පමණක් නොව සහරාම් හෂිම්ට විවෘත වරෙන්තු පවා නිකුත් කර තිබුණු බවත් සඳහන් වෙයි. එසේම පාස්කු ප්‍රහාරය සිදුවන විට ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන ආරක්ෂක ලේකම්වරයා පමණක් නොව ත්‍රිවිධ හමුදාවන්හි සේනාධිනායකයා ද වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනකූලව සියලු විධායක බලතල ජනාධිපතිවරයා සතු වෙයි. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ ක්‍රියාත්මක වූ බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කිරීමේ බලයත් ජනාධිපතිවරයා වෙත පැවැරී තිබුණි. මේ සිදුවීම් සිදුවන අවස්ථාවේ ජනාධිපතිවරයා සිටියේ සිංගප්පූරු සංචාරයකය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා සතුව ඉහත බලතල පැවැරි තිබුණ ද මේ සිදුවීමෙන් අනතුරුව තමා යටතේ සිටින නිලධාරීන් තමන්ට තොරතුරු ලබා නුදුන්නායැයි පවසමින් වගකීමෙන් මිදිය නොහැකි බව නඩු තීන්දුවේ අවධාරණය කර ඇත. මෙහිදි ජාතික ආරක්ෂාව සම්බන්ධ සංවේදි තොරතුරු කාර්යක්ෂමව ළඟා කර ගැනීමේ සංවේදි යාන්ත්‍රණයක් නොතිබීම ද තින්දුවේ අවධාරණය කර තිබුණි. ආරක්ෂක මණඩල රැස්වීමද මේ ආසන්න කාලයේදි නිසි පරිදි පවත්වා නැති වීමට තවත් අඩුපාඩුවක් ලෙස සඳහන් කර තිබුණි. මේ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් සිය වගකීම් ඉටු කිරීමට අපොහොසත් වීම දැඩිව අවධාරණය කර ඇති අතර එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14 (1)(ඉ) විධි විධාන මඟින් සහතික කර ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මෙම නඩු තීන්දුවේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරගේ කාර්යභාරය හා වගකිම් ඉටු කිරීම හා ඉටු කර ඇති ආකාරය අධිකරණය දැඩිව දෝෂදර්ෂණයට ලක්කර තිබුණි. ජාතික තවුහිද් ජමාද් සජවිධානය විසින් පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමේ සූදානම් පවතින බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීන් විසින් තමාට දුන් තොරතුරු නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතරදෙනකු වෙත පමණක් යොමු කිරීමත් පසු විපරමක් සිදු නොකිරීමත් දැඩි දෝෂදර්ෂණයට නතුවිය. ජනාධිපතිවරයා, දේශපාලන බලධාරීන් දැනුම්වත් නොකිරීම මෙන්ම සහරාන් හෂිම්ලා පිළිබඳ විවිධ තොරතුරු වාර්තා වී තිබියදීත් ඔවුන්ව අත් අඩංගුවට නොගැනීමද දැඩි දෝෂ දර්ශනයට ලක්විය. ආරක්ෂක ලේකම්වරයාට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ලැබුණු තොරතුරු ලබා දුන්න ද තමන් වෙත ලැබුණු සංවේදි බුද්ධි තොරතුරු සම්බන්ධව කටයුතු නොකිරීම තවත් දැඩිව අවධාරණයට ලක් වූ කරුණකි. නමුත් ඔහු කර ඇත්තේ එම තොරතුර පොලිස්පතිවරයා හා ජාතික බුද්ධි ප්‍රධානියා වෙත යොමු කිරීම පමණකි. එසේම සතිපතා පැවැත්වෙන ජාතික බුද්ධි සමාලෝචන රැස්වීමේ ප්‍රධානියා වූ ආරක්ෂක ලේකම්වරයා මෙම කරුණු අවධාරණයට ලක් නොකිරීම සම්බන්ධව ද මෙහිදි දැඩිව අවධාරණයට ලක්කර ඇත. මේ නිසා හිටපු ආරක්ෂක ලේකම්වරයා නොසැලකිලිමත්ව සිය රාජකාරිය බරපතළව පැහැර හැර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14 (1)(ඉ) විධි විධාන මඟින් සහතික කර ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඒ සඳහා වූ වන්දි මුදල් වින්දිතයන් වෙනුවෙන් ගෙවන ලෙස නියෝග කරමිනි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට විදේශීය බුද්ධි සේවයකින් තොරතුරු ලැබුණ ද ඔහු කර ඇත්තේ ඒ තොරතුරු පොලිස්පතිවරයාට හා ජාතික බුද්ධි ප්‍රධානියාට යොමු කිරීම පමණි. එසේම අප්‍රේල් 9 වැනිදා පැවැති ජාතික බුද්ධි සමාලෝචන රැස්වීමේදී ද ඔහු එය සාකච්ඡාවට ලක් කළේ නැත. එසේ තොරතුරු සාකච්ඡා කළේ නම් ආරක්ෂක ප්‍රධානීන්ට මෙන්ම ත්‍රිවිඩ හමුදාපතිවරයාගේ ද අවධානය ඊට යොමු කර ගත හැකිව තිබී ඇත. 2019 වසරේ අප්‍රේල් 14 සිංහල අලුත් අවුරුදු දා මෙම වගඋත්තරකරුවන් ජනාධිපතිවරයා හමුවී සුබ පැතුව ද මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කර නැති බව අධිකරණයේ දෝෂ දර්ශනයට ලක්විය. මෙයින් පෙනෙන්නේ සිය වගකීම් පැහැර හැර ඇති බව මෙන්ම ඒවා සුළුවෙන් තැක ඇති අයුරුයි.
ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් ද තම රාජකාරිය බරපතළ ලෙස පැහැර හැර ඇති බව අධිකරණයේ නිගමනයයි. ඔහු ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ප්‍රධානීන් දැනුම්වත් කර තිබුණේ නැත. තොරතුරු පොලිස්පති හා ආරක්ෂක ලේකම් දැනුම්වත් කළ ද පසු විපරමක් සිදු වූයේ නැත.
මෙම නඩු තීන්දුවෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයක වගකීම කුමක්ද යන්න මනාව අර්ථකථනය කර ඇත. ජනාධිපතිවරයකුගේ වගකීම්, ආරක්ෂක ඇමැති, පොලිස්පති, රාජ්‍ය බුද්ධි ප්‍රධානීන්ගේ කාර්භාරය, බලතල පිළිබඳ යළි යළිත් අවධාරණය කර ඇත. මේ අය වගකීම් පැහැර හැරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1) (ඉ) විධි විධාන මඟින් සහතික කර ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය. මෙහි 12(1) යනු නීතිය හමුවේ සැමට සමාන අයිතිවාසිකම් තිබිය යුතු බවය. 14(1) (ඉ) විධි විධාන යටතේ තනිව හෝ අන් අය සමඟ තම ආගම ඇදහීමේ නිදහසයි.
කෙසේ වෙතත් පුද්ගලයන්ට ජීවත් වීමේ අයිතිය රාජ්‍ය විසින් සහතික කළ යුතුය යන්න රජයක මුඛ්‍ය කාර්යභාරය විය යුතුය. රාජ්‍ය බුද්ධි අංශ හරහා බුද්ධි තොරතුරු ලැබි තිබියදීත් ජීවිත සමඟ සෙල්ලම් කිරීමට තරම් වගකීම් පැහැර හැරීම මුදලින් විනිශ්චය කළ නොහැකි දෙයකි. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේ ජාතික ආරක්ෂක කවුන්සලය නීතිගත කළ යුතු බවත්, බුද්ධි අංශ සඳහා දක්ෂ නිලධාරීන්ගේ සේවය ගැනීමත්, ජාතික බුද්ධි ප්‍රධානීන්ගේ වපසරිය කුමක්ද යන්න නිශ්චිත කොට විග්‍රහ කිරිම හා ඊට දක්ෂ කුසලතා පිරිපුන් නිලධාරීන් සේවයට ගැනීමත්ය.
හිටපු ජනාධිපති මෛත්‍රි ඇතුළු මේ සියල්ලන්ට අදාළ වන්දි සිය පෞද්ගලික මුදලින් ගෙවීමට ලබා දී ඇත්තේ මාස 6 ක කාලයකි. ඒ සඳහා ඔවුන් රුපියල් කෝටි 31 ක් ගෙවිය යුතුයි. රජයෙන්ද රුපියල් කෝටි 1 ක වන්දියක් ඒ සඳහා පිහිටුවන අරමුදලට දැමිය යුතු වෙයි. පාස්කු ප්‍රහාර වින්දිතයන්ට යම් ආකාර සරණක් ලැබුණ ද සිය දරු මල්ලන් අමිහි දුකින් තෙමුණු මේ දෑස් වියළන්නට මුදලින් නොහැකිය. අදටත් ඔවුහු හැඬු කඳුළෙනි. නඩු තීන්දුවෙන් අවධාරණය වූ පරිදි සියල්ල සිය වගකිම ඉටු කළේ නම් අද සැවොම සතුටිනි. – සුභාෂිණි ජයරත්න
සේයාරූ – ගයාන් පුෂ්පික