ගම්පහ දුර්ලභ ශාකය පැවිදි කරවයි / වන නිලධාරිනියට විනය පරීක්ෂණයක් ?

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන කලාපයට අයත් ගම්පහ දාරළුවේ පවතින ගිය සිලනිකා හෙවත් පණු කරද දුර්ලභ ශාකය අද උදෑසන සසුන්ගත කෙරුණා.
ඒ ජාතික භික්ෂු පෙරමුණේ මැදිහත්වීමෙන්.
අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් එය විනාශ නොවී ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත් බවයි
ජාතික භික්ෂු පෙරමුණ පැවසුවේ.
ගම්පහ කොට්ඨාසයේ වනජීවී නිලධාරීනි දේවානි ජයතිලක මහත්මියගේ කඩිනම් මැදිහත්වීම මත මෙම ගස විනාශ නොකර බේරා ගැනීමට අවධානය යොමුව තිබුණා.
කෙසේ වෙතත් දුර්ලභ කෲඩියා සිලනිකා ශාකය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.
මේ නිවේදනයට අනුව අධිවේගී මාර්ගයේ දාහතර වැනි කිලෝමීටරය ආසන්නයේ හමුවූ කෲඩියා සිලනිකා ශාකයේ තවත් කුඩා පැළෑටියක් ද මේ මාර්ග පථයේ මායිමේ තිබෙන බව ක්ෂේත්‍ර නිරීක්ෂණයේ දී හෙළි වූ බව එහි සඳහන්.
හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ ද මේ විශේෂයට අයත් පරිණත ශාකයක් පවතින බව මධ්යම පරිසර අධිකාරිය ලජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව,වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළ ක්ෂේත්‍ර පරීක්ෂණයේ දී හෙළිව තිබුණා.
ඒ අනුව වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති කෲඩියා සිලනිකා ශාකය ගලවා වෙනත් සුදුසු ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරිමටයි ඔවුන් අවධානය යොමුකර ඇත්තේ.
මෙම ශාකය බේරා ගැනීමට මැදිහත්වූ ගම්පහ කොට්ඨාසයේ වනජීවී නිලධාරීනි දේවානි ජයතිලක මහත්මිය සම්බ්නධයෙන් විනය පියවර ගැනීමේ සූදානමක් ඇතැයි ද මේ වන විට වාර්තාවී තිබෙනවා.

පුවත යවන්න