ගාල්ල වරායේ අක්කර 6 ක භූමියක් බදු දීමේ සූදානමක්

ගාල්ල වරායේ අක්කර හයයි (6) පර්චස් 28 ක භූමි ප්‍රමාණයක් වසර 30 ක කාලයක් සඳහා පෞද්ගලික අංශයකට බදු දීමට සැලසුම් කර තිබේ. ගාල්ල වරායේ රුවල් යාත්‍රා අංගණයේ මෙහෙයුම් සිදු කිරීම සඳහා මෙලෙස වරායේ භූමි ප්‍රමාණයෙන් අක්කර හයයි පර්චස් විසිඅටක කොටසක් පෞද්ගලික අංශයට ලබා දීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉල්ලුම්පත්‍ර කැඳවා ඇත.

ඒ අනුව එකී ඉඩම් කොටස වෙනුවෙන් මුල් වසර දෙක සඳහා ස්ථාවර බදු මුදලක් අයකරනු ලබන අතර ඉන්පසු වාර්ෂිකව සංශෝධනය කර බදු මුදල අයකර ගැනීමටද නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු වෙත වරාය අධිකාරිය ලිපියක් යොමුකොට තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධනගෙන් මේ ගැන විමසීමේදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා රුවල් යාත්‍රා අංගණයේ මෙහෙයුම් සිදුකිරීමට පෞද්ගලික අංශයට බදු දීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කරන බවයි.

මෙම අංගණයේ මෙහෙයුම් කළමනාකරණය ලබා ගන්නා පෞද්ගලික අංශයට ජාත්‍යන්තර හවුල්කරුවන් ද ඊට එකතු කර ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙමගින් වරායේ මෙහෙයුම්වලට කිසිදු බලපෑමක් නොවන බවද ඔහු පැවසීය. මේ අතර වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පැවසුවේ මෙම ඉදිකිරීම් සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා සිදු කරනවා නම් පෞද්ගලික අංශයට ලබා නොදී වරාය අධිකාරියෙන්ම කිරීමට හැකියාව ඇති බවයි.

මෙම සම්පත් පෞද්ගලික අංශයට ලබා දීමට කටයුතු කරනවා නම් ඊට එරෙහිව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය. -Aruna

පුවත යවන්න