ගිනිගත්හේන ජාතික පාසලේ සිසුන්, ගුරුවරුන් ,දෙමාපියන් ඇතුළු 45කට කෙරෝනා

ගිනිගත්හේන ජාතික පාසලේ සිසුන්, ගුරුවරුන් ඇතුළු හතළිස් පස්දෙනකුට මේ වනවිට කොරෝනා ආසාදිතව ඇති බැවින් ඔවුන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කොට ඇත.

මෙම හතළිස් පස් දෙනා අතර සිසුන් 18 දෙනකු, ගුරුවරුන් තිදෙනකු හා සිසුන්ගේ දෙමව්පියන් 24 දෙනකු සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

ගිනිගත්හේන ජාතික පාසලේ ක්‍රීඩා උත්සවය සඳහා මේ දිනවල සිසුන් පුහුණුවීම් සිදු කිරීම හේතුවෙන් වයිරසය මෙලෙස සීග්‍රයෙන් පැතිර ගොස් ඇති බව වෛද්‍යවරු පවසති .

මෙම රෝගීන් අතර එක් සිසුවකුගේ සීයා කෙනකු වන 85 හැවිරිදි අයකු සහ අවුරුදු අසූ දෙකක අත්තම්මා ද වන බව පැවැසේ.

ගිනිගත්හේන ජාතික පාසලේ සිසුන් 2100 ක් හා ගුරුවරුන් සියයකට ආසන්නව සිටින අතර විදුහල්පති උපුල් ඉන්දුජිත් මහතා පවසන්නේ මෙම තත්ත්වය සමඟ පාසලේ පන්ති කිහිපයක් වසා දමා මුළු පාසලම විෂබීජහරණය කොට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද දැඩිව පවත්වාගෙන යන බවයි.

ආශ්‍රිත සිසුන්ගේ ළඟම ආශ්‍රිත සිසුන් ද නිවෙස් වල නිරෝධායනයට යොමු කොට තිබේ. මෙම තත්ත්වය සමඟ නාවලපිටිය හා ගිනිගත්හේන ප්‍රදේශයේ යළි කොරෝනා රෝගීන් වැඩි වීමේ ප්‍රවනතාවක් පෙන්වයි.

සුරංග රාජනායක – ගම්පොළ

පුවත යවන්න