ගිනි ගත් එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ ආකාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන ලෙස වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ සහ ධීවරයින් පිරිසක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සමේ වගඋතත්රකරුවන් ලෙස නම් කර ඇත්තේ, වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවිර යන මහත්වරුන්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරියයි.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, නෞකාව ගිනි ගැනීමෙන් එහි ප්‍රවාහනය කරමින් තිබු අති විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු ජලයට එක්වීමෙන් ප්‍රබල පාරිසරික හානියක් සිදුව ඇති බවය.
ධීවර ජනතාවගේ ජීවනෝපාය අහිමි වී ඇති බව පෙන්වා දී ඇති පෙත්සම්කරුවන් එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි වී ඇති බවට නියෝගයක් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ජීවන වෘත්තිය අහිමි වූ ධීවර ජනතාවට සුදුසු වන්දියක් ගෙවීමට බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති පෙත්තස්මකරුවන් මෙරට මුහුදු සීමාව තුළ සිදුවන එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා විදිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට බලධාරීන්ට නියෝග කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටී