ගුවන් තොටුපොළට එන ඉන්ධන දුම්රියත් නවතී

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වෘත්තිය ක්‍රියාමාර්ග පස්වන දිනටත් අද ක්‍රියාත්මක වනවා. ඒ හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනයෙන් ද දුම්රිය සේවකයන් ඉවත් වූ අතර කොලොන්නාව සිට ගුවන්තොටුපොළ දක්වා ඉන්ධන ප්‍රවාහනය ද අද සිදු කෙරුණේ නැහැ.

ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග දුම්රිය වෘත්තිය සමිති අද පස්වරුවේ සාකච්ඡා කිරීමට නියමිතයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඉල්ලීම් 25 ක් මුල් කරගෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළඹුනේ පසුගිය 23 වනදායි. එදින පටන් සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සහ ප්‍රවාහනය සදහා පාර්සල් භාර නොගැනීමටයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පියවර ගෙන තිබුණේ. මෙවන් පසුබිමක ඊයේ දිනයේ දී අදාළ ඉල්ලීම් සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාව අසාර්ථක වු බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අදාළ ගැටලු සම්බන්ධව සාධනීය මැදිහත්වීමක් නොකරන බවටයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කරන්නේ. නමුත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ඇතැම් ඉල්ලීම් සාධාරණ නොවන අතර සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට එකගතාවය පළ කළ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අදාළ ගැටලුවලට නිසි විසදුම් නොලැබුණ බව ප්‍රකාශ කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඔවුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගත්තා. ඒ අනුව ප්‍රවාහනය සදහා පාර්සල් භාර නොගැනීම ප්‍ර වේශපත්‍ර නිකුත් නොකිරීමට අමතරව තෙල් ප්‍රවාහනය, ප්‍රීමා පිටි ප්‍රවාහනය, හොල්සිම් ආයතනය සදහා හුණුගල් ප්‍රවාහනය යන සේවාවලින් ඉවත් වන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මීට සමගාමීව කටුනායක ගුවන් තොටුපොළ වෙත ඉන්ධන ප්‍රවාහනය ද ඇණහිටින බව එම සංගමය සදහන් කළා. ඒ අනුව අද දිනයේ දී කොලොන්නාව නිමාව තෙල් අංගනයේ සිට ඉන්ධන රැගත් දුම්රිය සහ ගුවන්තොටුපොළ සදහා ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය ද ධාවනය වූයේ නැහැ.  කෙසේ වෙතත් දුම්රිය ප්‍ර වේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන දෛනික පාඩුව රුපියල් මිලියන පහක්. වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ආරම්භ වූ පසුගිය 23 වනදා සිට ඊයේ දක්වා සමස්ත අලාභය රුපියල් මිලියන 20 ක් වනවා.

පුවත යවන්න