හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් සංචාර සඳහා මුදල් වියදම් දරන්නේ ශ්‍රී ලංකා රජයද? ඇත්තටම ඔහුගේ සංචාර සදහා වියදම් දරන්නේ කවුද? ඒ පිළිබඳ කතා බහක් මේවන විට ඇතිව තිබේ.
මේ විමසා බැලීම ඒ පිළිබඳවයි.
මාලදිවයිනෙන් සිංගප්පුරුවට- සිංගප්පුරුවෙන් තායිලන්තයට
දැවැන්ත ජනවිරෝධය හමුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ජූලි 09 වැනිදා පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියේය. ඒ සිය බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟය .
මාලදිවයිනේද ඔහු සුඛෝපභෝගි නිවාඩු නිකේතනයක නවාතැන්ගෙන තිබුණි. ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ ඒ සඳහා ද මිලියන ගණනක මුදලක් වැයවූ බවයි.
අනතුරුව පෞද්ගලික ජෙට් යානයක් පැමිණෙන තුරු සිටි ගෝඨාභය රාජපක්ෂ පසුව ජූලි 14 වැනිදා සෞදි අරාබි ගුවන් සේවයට අයත් යානයකින් මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
සිංගප්පුරුවේ ද ඔහු නවාතැන්ගෙන ඇත්තේ මිල අධික සුඛෝපභෝගී හෝටලයක බව පැවසෙයි.
සිංගප්පුරුවේ මාසකට ආසන්න කාලයක් ඔහු ගත කළේය.
මාධ්‍ය වාර්තා කරන්නේ ඒ සඳහාද මිලියන ගණනක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවයි.
අනතුරුව අගෝස්තු 11 වැනිදා ඔහු සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පිටත්ව ගිය අතර මේවන විට වාසය කරන්නේ තායිලන්තයේයි.
විදෙස් සංචාරවලට වියදම් දරන්නේ කව්ද?
ගෝඨාභය රාජපක්ෂ තවමත් ජීවත් වන්නේ, හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අගෝස්තු 16 වැනිදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් අගනුවර බලා පිටත්ව යාම සඳහා භාවිත කළේ පුද්ගලික ගුවන් යානයක් බවත් ඒ සඳහා මුදල් ගෙවා තිබුණේ ශ්‍රී ලංකා රජයෙන් බවත් මාධ්‍යවේදියෙක් එහිදී පැවසීය.
හිටපු ජනාධිපතිවරයා තවමත් ජීවත් වන්නේ එම වරප්‍රසාද යටතේ ද යන්න ඔහු එහිදී විමසා සිටියේය.
ප්රශ්නය: අපේ හිටපු ජනාධිපති තුමා සිංගපූරුවේ ඉඳලා නැවත තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ගමන් කළා. එහිදී ඔහු පාවිච්චි කළේ පෞද්ගලික ගුවන් යානයක්. මේ සඳහා මුදල් ගෙවලා තියෙන්නේ ලංකා රජයෙන්. ජනතාවගේ බදු මුදල්. මේ වරප්‍රසාද යටතේද ඔහු තවමත් ජීවත් වෙන්නේ?
පිළිතුර: “ඔව්. මොකද ලංකාවේ ජනාධිපතිවරණ පනතට අනුව රටේ හිටපු ජනාධිපතිවරයාත් ඉන්න ජනාධිපතිවරයාටත් හිමි වරදාන වරප්‍රසාද පිළිබඳ නීතිමය විධි විධාන තිබෙනවා. හිටපු ජනාධිපතිවරයෙක් අභාවප්රප්ත වීමෙන් පසු ආර්යාවටත් එවැනි ආරක්ෂාව සැලසීම පිළිබඳ මගේ දැනීමේ හැටියට වගකීමක් තිබෙනවා. දිවංගත ජනධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව ලෙස හේමා ප්‍රේමදාස මැතිණියට ඒ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දීලා තිබෙන බවට තමයි මගේ සාමාන්‍ය දැනීම. මට ඒ පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව බලන්නත් පුළුවන් ඉදිරියේදී.” කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
වියදම් පෞද්ගලික මුදලින්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
එහි දැක්වෙන්නේ එවැනි සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බවයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍ය වේදියෙක් නැඟු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන්ට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළ බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
ඔහු සඳහන් කළේ, තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා සාවද්‍ය බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී ඇති බවයි.
ඔහුගේ සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර ඇත.
රටට එන්න අවස්ථාව දෙන්න
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි මෙරටට පැමිණිමට අවස්ථාව සලසා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩි.වීරසිංහ කියා සිටියේය.
“මේ රටේ අවුරුදු 30 ක යුද්ධය ඉවරකරපු නායකයාට, හිටපු ජනාධිපතිතුමාට සැප වින්දා කියලා චෝදනා කරනවා. තමන්ගේ කාර්ය මණ්ඩලය අඩු කරලා තමන්ගේ යාන වාහන අඩු කරගෙන මේ රට හදන්න යම් උත්සහයක් ගත්ත නායකයාට ඉන්න රටක් නැතිවෙලා.” ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසීය.
ඔහු ඉල්ලා සිටියේ “ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ රට බේරගත්ත, මේ රටේ තරුණයින්ගේ හඬටඇහුම්කන් දීලා තමන්ගේ ජනාධිපතිකම අත ඇරලා ගිය මේ රටේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කරපු මනුස්සයාට මේ රටට එන්න අවස්ථාව හදලා දෙන්න සහ ඒ අයව ආරක්ෂා කරන්න වැඩකටයුතු කරන්න.” යනුවෙනි.
ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතේ වරප්‍රසාද
1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතේ හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවිය යුතු වරප්‍රසාද පිළිබඳ පැහැදිලිව දක්වා තිබේ.
මෙම පනත හිටපු ජනාධිපතිවරයන්ට සහ ජනාධිපතිවරයන්ගේ වැන්දඹුවන්ට නිල නිවාස සහ වෙනත් දීමනා සහ පහසුකම් ප්රදානය කිරීම සඳහා වූ විධිවිධාන සැලැස්වීම පිණිස හා එවැනි වැන්දඹුවන්ට විශ්‍රාම වැටුප් ගෙවීම් සඳහා විධිවිධාන සැලැස්වීම පිළිබඳ පනතකි.
ලබා දිය යුතු වරප්‍රසාද
- සෑම හිටපු ජනාධිපතිවරයෙකුටම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකටම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.
- එසේ වුවද යම් කිසි හේතුවක් නිසා වාසය සඳහා උචිත නිවාසයක් නොසපයන අවස්ථාවක අවශ්‍යතාවය පරිදි හිටපු ජනාධිපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් හිටපු ජනාධිපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතුය.
- ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තාට තත්කාලයේ ගෙවනු ලබන මාසික වැටුපට සමාන මාසික ලේකම් දීමනාවක් සෑම හිටපු ජනාධිපතිවරයෙකුට ගෙවිය යුතුය.
- අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තෙකුට තත්කාලයේ ගෙවනු ලබන මාසික වැටුපට සමාන මාසික ලේකම් දීමනාවක් හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවිය යුතුය.
- සෑම හිටපු ජනාධිපතිවරයෙකුටම සහ සෑම හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකටම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකුට තත්කාලයේ සපයනු ලබන නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් සලසනු ලැබිය යුතුය.
- හිටපු ජනාධිපතිවරයෙකු මිය ගිය අවස්ථාවේදී ඔහුට ලැබීමට හිමිකම් තිබූ හෝ ජනාධිපති ධුරය දැරීම නතර වූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාට ලැබෙන්නට හිමිකම් තිබූ මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන මාසික විශ්‍රාම වැටුපක් ද හිටපු ජනාධිපතිවරයා ගේ වැන්දඹුවට ඇගේ ජීවිත කාලය තුළදී ගෙවිය යුතුය.