ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට මොරටුව මහ නගර සභාවෙන් ගෙනා අපූරු ව්‍යාපෘතිය

එදිනෙදා අප සිදුකරන ක්‍රියාවන්වලදී ඉවත දමන දෑ අපද්‍රව්‍ය ලෙස බැහැර කරනු ලබයි. ඒ අතර ඝන තත්ත්වයේ පවතින කඩදාසි, කාර්ඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්ටික්, පොලිතීන්, ලෝහ  වර්ග, පොල්කටු, ඉවත ලන ආහාර ආදිය  දැකගත හැකියි. නාගරික වශයෙන් මෙකී අපද්‍රව්‍ය ක්‍රමවත් ලෙස බැහැර නොකිරීම නිසා බොහෝ පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු ඇති විය. මේ නිසාම ඝන අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමනාකරණය කිරීම අත්‍යාවශම දෙයකි. මේ තොරතුරු පසුගියදා මොරටුව මහ නගර සභාව විසින් හඳුන්වා දුන් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳවයි. මෙහි විශේෂත්වය වන්නේ නිවසේදීම කසළ වෙන්කරන ක්‍රමවේදයක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත්, එලෙස ක්‍රියාත්මක වන මෙරට ප්‍රථම ව්‍යාපෘතියද මෙය වීමත්ය. එහි තොරතුරු සොයා අපි මොරටුව මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පරිශ්‍රයට පියනැගුවෙමු.

කුණු කියූ පමණින් බල්ලන්, බළලුන් ගැවසෙන, කාක්කන් එහෙ මෙහේ සැරිසරණ, මැස්සන් ගහණ පරිශ්‍රයක් සිහියට නැගුණත්, මොරටුව නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පරිශ්‍රයට පිවිසෙන විට කර්මාන්ත ශාලාවක සිරියක් දැකගන්නට ලැබිණ. එහි සවිකර තිබූ යන්ත්‍රවලට පොලිතීන්, ප්ලාස්ටික් ආදිය ඇතුළු කරමින් යුහුසුළුව සේවය කරන සේවකයන් කිහිපදෙනෙකු පරිශ්‍රයට ඇතුළු වන විටම අපේ නෙත ගැටිණ. ඒ හැර එම ස්ථානයේ එකදු මැස්සෙකුවත් අපගේ නෙත ගැටුණේ නැති අතරම, දුර්ගන්ධයක් හැමුවේද නැති බව මෙහිලා සඳහන් කළ යුතුමය. මොහොතකින් එම පරිශ්‍රයට ඇතුළු වූයේ කුණු පිරවූ ට්‍රැක්ටර් රථයකි. එයින් ගෙනා කුණු එක් ස්ථානයකට දමද්දී, දෙතුන් දෙනෙක් වහ වහා කුණු වර්ගීකරණය කරනු දැකගත හැකි විය. ඔවුන් විසින් බෝතල් වර්ග වෙනමත්, ඇතැම් නිවෙස් වලින් පොලිතීන් හා ප්ලාස්ටික් සමග මිශ්‍රව දමන අනෙකුත් අපද්‍රව්‍යත් වෙන් කරනු දැකගත හැකි විය. ඉන්පසු ඔවුන් පොලිතීන් හා ප්ලාස්ටික් යන්ත්‍ර තුළට බහාලා යන්ත්‍රය ක්‍රියාත්මක කරනු ලබයි. අවසානයේ මෙකී අපද්‍රව්‍ය සියල්ල දැඩි පීඩනයක් දමා කුට්ටි බවට පත්කරනු ලබයි. එලෙස කුට්ටි කරන ලද අපද්‍රව්‍ය පසෙකින් ගොඩගසනු ලබයි. මෙලෙස කුට්ටි කරන ලද අපද්‍රව්‍ය රැගෙන යන්නේ පුත්තලමේ පිහිටි සිමෙන්ති නිෂ්පාදන ආයතන වෙතයි. එසේම අපද්‍රව්‍ය අතර තිබෙන ප්ලාස්ටික් බෝතල් වෙනම එකතු කරන අතර, ඒවා මිලදී ගන්නා ආයතන වලට අලෙවි කරනු ලබයි.

මෙම විශේෂ ව්‍යාපෘතිය ආරම්භ වූයේ පසුගිය සතියේයි. එයටද විශේෂ හේතුවක් බලපා තිබේ. එය විමසා බැලීම සදහා අපි මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නීතිඥ සමන්ලාල් ප්‍රනාන්දු මහතා හමුවුණෙමු.

“කරදියාන කසළ අංගණයට තමයි අවුරුදු විස්සක් වැනි කාලයක් තිස්සේ මොරටුව මහ නගර සීමාවේ එක්රැස් කරන අපද්‍රව්‍ය සියල්ල රැගෙන යනු ලැබුවේ. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීතොටමුල්ල කුණු කන්ද නාය ගියාට පසුව, කරදියාන කසළ අංගණය සම්බන්ධයෙනුත් අවධානය යොමු කළා. ඒ අනුව ඔවුන් කරදියාන කසළ අංගණය අසල පිහිටි නිවාස 20ක් ඉවත් කළා. ඒ වගේම  කසළ අංගණයට ගෙන එන නොදිරන කසළ අවම කරන්න කියලා දැනුම් දුන්නා. ඒ අනුව නොදිරන කසළ කරදියානට යොමුකරන අවසන් දවස 2021 ජනවාරි 12වෙනිදා බවට අධිකරණ තීන්දුවක් අනුව නියම වුණා. මෙයට විසඳුමක් ලෙස කැලණිය ප්‍රදේශයේ නව කසළ අංගණයක් හඳුන්වා දී තිබෙනවා. අනෙක් ආයතන මේ අංගණයට කසළ රැගෙන යාවි. නමුත් අපි කල්පනා කළා අනාගතයේ යම් දිනක නව ස්ථානයටත් කසළ බැහැර කරන්න නොහැකි වන දිනයක් එයි කියලා. මේ නිසා මොරටුව මහ නගර සභාව විදිහට අපි කල්පනා කළා ජනවාරි 12 වෙනිදායින් පසුව නොදිරන කසළ වලට කුමක්ද කරන්නේ කියන දේ සම්බන්ධව. දිරන කසළ අපිට තවදුරටත් කරදියාන වෙත රැගෙන යා හැකියි. මොකද එහි කොම්පෝස්ට් නිෂ්පාදනාගාරයක් පිහිටුවා ඇති නිසා. කසළ වර්ගීකරණය කර ඉවත් කරන ආයතන අතරින් කොම්පෝස්ට් සඳහා කසළ වැඩි වශයෙන් කරදියාන වෙත රැගෙන යන්නේ මොරටුව මහ නගර සභාවයි. දිනකට ටොන් 40ක් ලෙස දින හතරක් කරදියානට අපි දිරන කසළ රැගෙන යනවා. සාමාන්‍යයෙන් කසළ ටොන් 40කින් කොම්පෝස්ට් ටොන් 12ක් පමණ නිෂ්පාදනය කළ හැකියි. ඒ නිසා අපි කල්පනා කළා නොදිරන කසළ කළමනාකරණය සඳහා පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වෙත ප්‍රවේශයක් ගන්න.

ඒ අනුව පුත්තලමේ පිහිටි අතීතයේ සංස්ථා සිමෙන්ති නිෂ්පාදනය කළ ආයතනයේ උදුන සඳහා වර්ගීකරණය කළ සෘජිෆෝම්, පත්තර, පොලිතීන්, ප්ලාස්ටික් ආදියද යොදාගනු ලබන බව අපිට දැනගන්න ලැබුණා. ඒ අනුව අපි තීරණය කළා මොරටුව මහ නගර බල ප්‍රදේශයෙන් එකතු කරන නොදිරන ඝන අපද්‍රව්‍ය තෝරා යම් ක්‍රමවේදයක් අනුව ඒවා පුත්තලමේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත යොමු කරන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට. ඒ අනුව අපි පසුගිය සතියේ මේ කටයුතු ආරම්භ කළා. අපි පසුගිය ඉරිදා පළමු අදියර යටතේ ටොන් හතක අපද්‍රව්‍ය පුත්තලමේ පිහිටි එම කර්මාන්ත ශාලාව වෙත පිටත් කර යැව්වා. ඉදිරියේදී අපි ටොන් 10ක් 12ක් ලෙස යවන්න සැලසුම් කර තිබෙනවා. මේ ව්‍යාපෘතිය යටතේ මොරටුව ජනතාවට වාසි රැසක් අත්වුණා. සාමාන්‍යයෙන් අපි සතියකට දවස් දෙකක් තමයි නගර සභාවෙන් අපද්‍රව්‍ය එකතු කරන්නට නිවෙස් වෙත කුණු එක්රැස්කරන රථ යවනු ලැබුවේ. දැන් අපි සතියට දෙවතාවක් පොලිතීන් අපද්‍රව්‍ය රැස්කරන්න රථ හා සේවකයන් යොදවා තිබෙනවා. ඒ වගේම දිරන කසළ එක්රැස් කරන්න සතියකට දවස් දෙකක් සේවකයන් හා රථ යොදවන්න තීරණය කර තිබෙනවා. මොකද අපි දැන් පොලිතීන් කරදියානට රැගෙන නොයන නිසා පොලිතීන් අපද්‍රව්‍ය උදේ වරුවේත්, දිරන කසළ හවස් වරුවේත් එක්රැස් කරන්න හැකියාවක් ලැබී තිබෙනවා. නමුත් පොලිතීන් එකතු කරන රථ සියල්ල එකම වෙලාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණියහොත් තදබදයක් ඇතිවන නිසා අපි නගර සභා ප්‍රදේශයේ කලාප පහට උදේ හවස ලෙස කාලසටහනක් යටතේ රථ හා සේවකයන් යොදවන්න තීරණය කර තිබෙනවා. මේ ව්‍යාපෘතිය නිසා මොරටුවේ කුණු කසළ මනා කළමනාකරණයක් ඇතිව බැහැර කරන්න හැකියාවක් ලැබෙනවා. මේ වැඩසටහන යටතේ එක කලාපයකට අපේ ට්‍රැක්ටර් හා සේවකයන් සතියේ දවස් පහක්ම යන්න පුළුවන්. දවස් දෙකක් නොදිරන කසළ එකතු කරන්නත්, දිරන ද්‍රව්‍ය එකතු කරන්න දවස් දෙකක්, ටින් බෝතල්, සපත්තු, රෙදි හම් බෑග් එකතු කරන්න මාසෙකට එක් ඉරිදාවක් ලෙසත් බැලුවාම දවස් පහක් අපේ සේවකයන් නිවෙස් වෙත සේවා සපයන්න මේ ව්‍යාපෘතිය යටතේ යොමු වෙනවා. ඒ වගේම කියන්න ඕන මේ දවස්වල නිරෝධායනයට ලක්වෙන නිවෙස් වල අපද්‍රව්‍ය අපි විශේෂ ක්‍රමවේදයක් යටතේ එක්රැස් කරනවා. ඒ අපද්‍රව්‍ය අපි මේ  මධ්‍යස්ථානයට රැගෙන එන්නේ නැහැ. ඒ සඳහා විශේෂ ස්ථානයක් කරදියානේ තිබෙනවා. නිරෝධායන නිවෙස්වල අපද්‍රව්‍ය හැර අනෙක් නිවෙස් වල නොදිරන කසළ මේ ස්ථානයට රැගෙන එනවා. තවත් මාස දෙකක් ඉක්මවන්නට පෙර අපිට අලෙවි කරන්න පුළුවන් කසළ වෙන්කර යම් ආදායමක් ලබන්නත් හැකි වේවි. ඒ සඳහා අපි වර්ග වෙනමම එකතු කරනවා. මේ හරහා අපි ලබන ආදායමෙන් පුත්තලම දක්වා වාහන වලින් කසළ ප්‍රවාහනය කරන්න යන ඉන්ධන වියදම් පියවා ගන්නයි සැලසුම් කර තිබෙන්නේ. එක් වාහනයකට එක් දිනයකට ඉන්ධන සඳහා රුපියල් 6000ක් පමණ වැය වෙනවා. ඒ අනුව අපිට සතියකට රුපියල් 25,000ත් 30,000ත් අතර මුදලක් වියදම් වේවි කියලා ඇස්තමේන්තු කර තිබෙනවා.

 මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් නිසා පරිසරයට සිදුවන්නේ යහපතක්. අපේ ප්‍රදේශයේ ඊ කසළ නැත්නම් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කරන්නත් මාසයේ එක් දිනක් වෙන්කර තිබෙනවා. ඒ වගේම මේ ඊ අපද්‍රව්‍ය ගෙනත් දමන්න අපි අපේ කලාප පහට එක් ස්ථානයක් ලෙස ස්ථාන 5ක් හඳුන්වා දී තිබෙනවා.

මම මේ ව්‍යාපෘතිය ගැන මීට අවුරුදු 10කට කලින් පවසද්දී හැමෝම කිව්වේ මේක කරන්න බැහැ කියලයි. නමුත් අපි මේ දක්වා මොරටු ජනතාව දැනුම්වත් කරමින් කසළ කළමනාකරණය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව නිවසේදීම කසළ වෙන්කරන ව්‍යාපෘතියක් කරන එකම ආයතනය බවට ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවෙන්ම අපේ ආයතනය පත්වෙනවා. අනෙක් ආයතන වලින් කරන්නේ කසළ එකතු කරලා එක් ස්ථානයට රැගෙන ඇවිත් කසළ වෙන්කරන එකයි. නමුත් කියන්න ඕන අපි දිරන කසළ එකතු කරන දවසට ඒවාට පැරසිටමෝල් පෙත්තක කවරයක්වත් එකතු කරන්න දෙන්නේ නැහැ. මේ ව්‍යාපෘතිය ආරම්භක අවස්ථාවේ තිබෙන නිසා අපිට නිවැසියන්ගෙන් මැසිවිලිත් අහන්න ලැබනවා. ඇතැමුන් කියනවා අපිට ගෙදරදීම කුණු තෝරන්න බෑ කියලා. නමුත් මම උපදෙස් දී තිබෙන්නේ අපි කෑම එකක් ඔතන එන ලන්ච් ෂීට් එකෙන් ඉතිරි ආහාර දිරන කුණු බැහැර කරන බඳුනට දමා ලන්ච් ෂීට් එක හෝදලා ගසලා බෑග් එකකට එකතු කරන්න කියලයි. අපි සතියට දෙපාරක් පොලිතීන් එකතු කරන්න එන නිසා ගෙවල් වල මේවා ගොඩගැහෙන්නේ නැහැ.

අපි මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලක්ෂ 55ක් පමණ වියදම් කරලා උපකරණ ගෙනැත් තිබෙනවා. එය විශාල ආයෝජනයක් විදිහටයි අපි දකින්නේ. මේ ව්‍යාපෘතිය අපි සාර්ථකව ආරම්භ කළා වගේම සාර්ථකව පවත්වාගෙන යනවා. අපිට කරදියානට කුණු බැහැර කරන්න වෙනදා ලක්ෂ 10ත් 12ත් අතර වියදමක් දරන්න සිදුවුණා. මේ ව්‍යාපෘතිය යටතේ අපිට මුදල් කළ හැකි කුණු වලින් ආදායම් ලබලා යන වියදම් පියවා ගන්නත්, යම් ලාභයක් ලබන්නත් හැකිවෙයි කියලා විශ්වාස කරනවා. පාට බෝතල් ටොන් එකකට රුපියල් තිස්දහසක් වැනි මුදලක්, සුදු බෝතල් ටොන් එකකට රුපියල් හතළිස් දහසකුත්, සුදු පොලිතීන් ටොන් එකකට රුපියල් හැටපන්දහසකුත් වැනි ආදායමක් ලබන්න හැකියි. අපිට ඒවාට ගැනුම්කරුවන් සිටිනවා. මාසෙකට ටොන් 8ක් වත් කවලමේ අලෙවි කරගන්න ලැබුණොත් අපිට ඉන්ධන වියදම් පියවාගන්න ප්‍රමාණවත් ආදායම් ලැබේවි.

අපි තවම ආරම්භක අවදියේ නිසා කළමනාකරණ අංගණයට අපද්‍රව්‍ය ගෙන එන වාහනයේ සේවකයෙකු නවත්වාගෙන කසළ වල වීදුරු බෝතල්, පොල්කටු , යකඩ වැනි දේ අහම්බයෙන් හරි එකතු වෙලාද කියන එක සොයා බලනවා. මේ හරහා අපේ නගර සභා සේවකයන් තමන් එක්රැස් කරපු කසළ වල තත්ත්වය පිළිබඳ වග කියන්නට බැඳී සිටිනවා. ඒ හරහා අපි ලකුණු දීමේ ක්‍රමයක් සකස් කර තිබෙනවා. මේ අනුව තමන් එකතු කරන කසළ නිවැරදිව වර්ගීකරණය කර රැගෙන එන සේවකයන්ව වර්ෂ අවසානයේ අප ආයතනයේ සිදුකරන ඇගයීමේ වැඩසටහන යටතේ අගයන්න නියමිතයි. අපි දැනටත් වාර්ෂිකව හොඳම රියැදුරා, හොඳම කසළ එකතු කරන කම්කරු සේවකයා ආදී අංශ කීපයක් යටතේ තෝරා ඔවුන්ට සම්මාන හා මුදල් ත්‍යාග පිරිනමනවා. ඒ වගේම අපි අපේ සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳවත් සොයා බලනවා. ප්‍රතිශක්තීකරණ වර්ධනය වෙනුවෙන් සෑම කම්කරුවෙකුටම සෑම දිනකම උදෑසන කොත්තමල්ලි, ඉඟුරු, වෙනිවැල්ගැට ආදිය ඇතුළත් ඖෂධීය පාන ලබාදෙනවා.

අපි මේ නව ව්‍යාපෘතිය යටතේ කසළ එකතු කරන්නට කොට්ඨාස වලට පැමිණෙන දිනයන් හා කසළ කලමනාකරණය කර ලබාදිය යුතු අන්දම පිළිබඳ තොරතුරු ඇතුළත් කර පත්‍රිකාවක් මොරටුවාසීන්ට ලබා දෙන්නට නියමිතයි. මේ හරහා අපිට තවත් මාස කිහිපයක් ගත වන විට අති සාර්ථක ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් බවට මෙය පත් කරගත හැකිවේවි යැයි විශ්වාස කරනවා. ඒ වගේම මෙය සාර්ථක වෙද්දී සතියේ දින හතෙන් දින පහක් තමන්ගේ නගර සභාවේ කුණු ලොරිය නිවසට පැමිණෙන ලංකාවේ එකම නගර සභාව බවට මොරටුව මහ නගර සභාව ඉතිහාසගත වේවි. ඒ වගේම අපි බැලුවොත් ලෝකයේ දියුණු රටවලත් කුණු එක්රැස් කරන්න වාහන හා සේවකයන් නිවෙස් වෙත යන්නේ සතියට දින තුනක් වගේයි. ඒ අනුව අපේ නගර සභාව දින පහක් තමන්ගේ පාලන ප්‍රදේශයේ නිවෙස් වෙත සේවකයන් හා කුණු එකතුකරන රථ යවන ලෝකයේ එකම  ආයතනය බවටත් පත්වේවි. මේ ව්‍යාපෘතිය අතිශය සාර්ථක එකක් බවට අනිවාර්යෙන් පත්වෙන බව මට විශ්වාසයි.”

විශේෂ ස්තූතිය – මෙම ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු ලබාගැනීම වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදුකර දුන් චමේශ් සංඛ මහතාට

පුවත යවන්න