ජනපති – අගමැති ඉවත්විය යුතුයි / ශ්‍රීලනිපය කියයි

නමතයට හිස නමා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ, වසර ගණනාවක සිට ජනතා පීඩාකාරී පාලනයක් ගෙන ගිය රජයට අවස්ථා ගණනාවක දී වැරදි නිවැරදි කරගැනීමට සහ නිවැරදි තීන්දු ගන්නා ලෙස දිගින් දිගට විවිධාකාරයෙන් ඉල්ලීම් සහ ආයාචනා සිදු කළත් අදාළ තීන්දු තීරණ කඩිනම්ව ගැනීමට අපොහොසත් වීම මත දවසින් දවස රට අරාජික තත්ත්වයට පත් වී ඇති බවයි.

අවසානයේ දී රටේ ජනතාව අරගලයක් දක්වා වේදනාකාරී අත්දැකීම් ගෙනගිය අතර අද වන විට ජනාධිපති කාර්යාලයත්, ජනාධිපති මන්දිරයත්, යුක්තිය උදෙසා අරගල කළ අරගලකරුවන් විසින් අත්පත් කර ගෙන තිබේ.

ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත්, රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයාට ද එම ධූරය දැරීමට ජනවරමක් නොමැති බවයි.

සෑම දෙනාම පිළිගන්නා සර්ව පාක්ෂික රජයක් බිහිකොට රටේ ප්‍රශ්න ගැටලු විසඳීමට වහා කටයුතු කිරීමට ඉඩප්‍රස්ථාව සලසා දෙමින් ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා එම ධූරයන්ගෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි.

පැය 24 ක් ඇතුළත ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු අතර, සර්ව පාක්ෂික රජයක් පිහිටවීමට සියලු පක්ෂවලට අරාධනා කරමින් අග්‍රාමාත්‍යවරයා ද ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

පුවත යවන්න