ජනපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් තරුණයකු අත්අඩංගුවට

කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජන රාශියක සාමාජිකයන් ලෙස කටයුතු කළ දෙදෙනෙකු ජා-ඇළ ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.

අවුරුදු 35 සහ 37 යන වයස්වල පසු වන මොවුන් තුඩැල්ල සහ මාඑළිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඊයේ (02) අත්අඩංගුවට ගත් මොවුන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

එමෙන්ම පසුගිය මස 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුලු වී ජනාධිපතිවරයා අසුන් ගන්නා පුටුවෙහි වාඩි වී ඡායාරූප ලබා ගත් පුද්ගලයකුද ඊයේ දැරණියගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තා.

28 හැවිරිදි සැකකරු සමන්පුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලයට සම්බන්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, ඔහු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

රතිඳු සේනාරත්න සහ ඩිලාන් සේනානායක පෙරේදා කොළඹ අපරාධ කොට්ඨාසයේ කැඳවීමකට අනුව පැමිණි අවස්ථාවේ දී ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, ඉකුත් මැයි මස 21 වනදා බැංකු මාවත ප්‍රදේශයේ දී පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළව යි. එමෙන්ම රැට්ටා ඇතුළු තුන්දෙනෙකුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

පුවත යවන්න