ජනාධිපතිවරණය වංචා දූෂණ නැවැත්වීමේ තීරණාත්මක කඩඉමක්

රට බංකොලොත්භාවයට පත් කළ වංචා දූෂණ නැවැත්විය හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය බවත් මෙම ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ අපේක්ෂක අනුර දිසානායක ජයග්‍රහණය කළ යුතු බවත් හිටපු විගණකාධිපතිවරයෙකු වන සරත් චන්ද්‍රසිරි මායාදුන්න අවධාරණය කර තිබේ.

ඊයේ (30) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබූ අතර වැඩි දුරටත් පළ කළ අදහස් පහත දැක්වේ.

අද රට විශාල විනාශයකට පත්වීමට බලපෑ හේතුත් සමග ගලපා ගනිමින් අපිට බොහෝ දේ කල්පනා කළ යුතු වෙනවා. මෙතෙක් සිටි නායකයෝ වගේම ඔවුන්ගේ ඒජන්තවරුන් වේදිකා සහ මාධ්‍ය ඔස්සේ ජනතාව රවටන්න තවදුරටත් විශාල උත්සාහයක් ගන්නවා. අපේ රාජකාරි ජීවිතය තුළ සකස් කළ නිල වාර්තාවලින් මේ නායකයන් සහ ඔවුන් සමග සිටින කණ්ඩායම් ක්‍රියා කළ ආකාරය හෙළිවී තිබෙනවා. රට විනාශ කරන්න දායක වූ අයම විශාල අත්දැකීම් සම්භාරයක් තිබෙන බව ප්‍රකාශ කරමින් දැන් ඉදිරියට එන අවස්ථාවේ අපට අහන්න සිද්ධ වෙන්නේ ඒ ගොල්ලන් සිටිය කාලේ ඒ දේවල් නොකළේ ඇයි කියලා. ඔවුන්ගේ හත්මුතු පරම්පරාව ගොඩදාගත් ආකාරයත් මේ අවස්ථාවේ අත්සන් කරන ගිවිසුම් ගැනත් අපේ අවධානය යොමු කරන්න ඕනෑ. මාධ්‍යවලින් පෙන්වන ගිවිසුම් අත්සන් කිරීම් යට සැඟවී තිබෙන්නේ මොනවාදැයි ජනතාව දන්නේ නැහැ. රජයේ මුදල් හොරකම් කරන්න කොතරම් අවස්ථාවන් තිබෙනවාද කියලා, අපට පැහැදිලි වෙන්නේ නැහැ. විගණකාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවල හැටියට රාජ්‍ය ආයතනවල නිල තොරතුරුවලින් අපි ඒ වාර්තා සකස් කර තිබෙනවා. කිසිදු දේශපාලන පක්ෂයකට මඩ ගහන්නවත් වෙනත් අරමුණුවලින්වත් අපි මේ වාර්තා සකස් කර නැහැ. ඉංග්‍රීසි පාලනය යටතේ පිහිටවූ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මේ දක්වා නිකුත් කළ වාර්තා රහස් වාර්තා නොවෙයි. පාර්ලිමේන්තුවේ සහ ජාතික විගණන කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කෙරෙනවා. ඕනෑම කෙනෙකුට වැඩි විස්තර පරිශීලනය කරන්න පුළුවන්. මෙතෙක් සිටි පාලකයන් වංචා දූෂණ සිදුකළේ කොහොමද කියලා ඒ වාර්තාවල වගේම වාචික සහ නිල ලිපි ලේඛනවලින් සාක්ෂි හැටියට තහවුරු ඒවා.

නමුත් එම වාර්තාවල දේශපාලකයන්ගේ නම් හෝ ඔවුන් සිදුකළ වංචා දූෂණ පිළිබඳව සඳහන් වන්නේ නැහැ. පොදු රජ්‍ය මණ්ඩලීය ආකෘතිය තුළ පැවරී තිබෙන්නේ ආයතන විගණනය කිරීම මිස පුද්ගලයන් විගණනය කිරිම නොවෙයි. ආයතනයේ ගිණුම් අනුව සකස් කරන වාර්තා මඟින් දේශපාලකයනට චෝදනා එල්ල කරන්නේ ඇයි? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍යාංශයේ ලේකම්වරයා තම ඇමතිවරයාගේ විධානය සහ පාලනයට යටත්ව සියලුම ආයතන මෙහෙයවනවා. ඒ ආයතනවල ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරී පත්කර සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට තමන් යටතේ තිබෙන ආයතනවල මූල්‍ය අවභාවිතා සම්බන්ධයෙන් පළමු කොටම අදාළ ඇමතිවරයාට වගකීම පැවරෙනවා. සියල්ල මෙහෙයවීමේ බලය දී තිබෙන්නේ අමාත්‍යවරයාටයි. අපිට ලැබී තිබෙන විගණන සාක්ෂි අනුව බොහෝ වංචා දූෂණ සිදුකර තිබෙන්නේ අමාත්‍යවරයාට සම්බන්ධයක් තිබෙන විවිධ ක්‍රියාමාර්ග මගින්. මේ නිසා අදාළ වගකීම්වල වැඩිම ප්‍රමාණය තිබෙන්නේ නිලධාරීන්ට නොව අදාළ අමාත්‍යවරයාටයි. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු විශේෂයෙන්ම චෝදනා එල්ල කරන්නේ නිලධාරීන්ට. නමුත් අමාත්‍යවරයා අදාළ වගකීම් බාර ගන්නේ නැතිනම්, ඔහු නිසි පරිදි ක්‍රියාකර නැති බවයි තහවුරු වෙන්නේ. සමස්ත මූල්‍ය අපරාධවලින් සුළු ප්‍රමාණයක වගකීමක් පමණයි නිලධාරීන් වෙත පැවරෙන්නේ.

මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් වගවීම පාර්ලිමේන්තුවට පැවරී තිබුණත් ආණ්ඩු පක්ෂයේ බලය යොදාගෙන බහුතර ඡන්දයෙන් ක්‍රියාකර තිබෙන ආකාරය කෙබඳුදැයි අපි දන්නවා. කැනඩාව, ඕස්ටේ්‍රලියාව, මහා බි්‍රතාන්‍යය පමණක් නොවෙයි, ඉන්දියාව දිහා බැලුවත් විගණන වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයට ලක් කරනවා. නමුත් අපේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලින් විධායකය පාලනය කරන්න සහ යම් වැරදි සිදුකරනවා නම් ඒවාට එරෙහිව පියවර ගන්න අතිවිශාල බලයක් ලබාදී තිබෙනවා. ඒ වගේම 148 ව්‍යවස්ථාව යටතේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශාල බලයක් ලබාදී තිබෙනවා. කිසියම් ආයතනයක් සම්බන්ධයෙන් කෝප් සභාව සහ කෝපා සභාව යන්න කමිටු දෙකෙන් බොහෝ විමර්ශන සිදුකර නිසි පරිදි වගවීම් ඉටුකළ හැකියි. නමුත් ඒ කිසිවක් ඉටුනොකර, මාධ්‍ය ඉදිරියට ඇවිත් ප්‍රකාශ සිදුකරන ආකාරය විශේෂයෙන්ම මේ මැතිවරණ සමයේ අපි හොඳින් දකිනවා. වංචා දූෂණ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වී සිටින අය දැන් එවැනි තත්වයන් වළක්වන්න කතා කරන බව අපි දකිනවා. නමුත් ඔවුන් මේ අවස්ථාවේ විවිධ අසත්‍ය සහ මඩ ප්‍රචාර, වංචා, දූෂණවලට සැබැවින්ම විරුද්ධව පෙළ ගැසී සිටින ජාතික ජන බලවේගයට එල්ල කරන ආකාරය අපි දකිනවා. විශේෂයෙන්ම තෝරා ගත්ත නියැදියකින් හෙළි වී තිබෙන්නේ බිලියන 399ක මුදලක් එක් ආයතනයකින් විනාශ කර ඇති බවයි. මේ වැනි විෂයයන් 35ක් සම්බන්ධයෙන් වාර්තා අපේ අවධානයට යොමු වී තිබෙනවා. මාරුවෙන් මාරුවට බලයට ආ දෙපිල මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේ නැහැ. ආණ්ඩු පක්ෂයේ පමණක් නොවෙයි විපක්ෂයේ බහුතර කණඩායම් කියන අයත් වංචා දූෂණ සිදු කර ඒවා හැමදාමත් යටපත් කළා. එම තත්වය නැවැත්වීමේ තීරණාත්මක කඩඉමකට මෙම ජනාධිපතිවරණයෙන් අපි සියලු දෙනා පැමිණ සිටිනවා.

පුවත යවන්න