ජනාධිපති කොමිසම් සුදු අලි බවට පත් වූයේ කොහොමද?

රටක සිදු වන බරපතළ ගණයේ අපරාධ, දූෂණ, හෝ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසම් පත් කිරීම දශක කිහිපයක සිටම සිදුවන්නකි. ඇතැම් රටවල මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදෙස් මත කොමිසම් පිහිටුවීම ද සිදු කෙරිණි.

අපේ රටේද යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය වූයේ යැයි ඇතැම් පාර්ශ්වවලින් නැඟුණු චෝදනා හමුවේ කොමිසම් සභා පත් කෙරිණි. එම කොමිසම්වලින් බලයෙන් ඉහළම තැනක් ගන්නේ ජනාධිපති කොමිසම්ය. ජනාධිපති කොමිසමක් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. මේ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ කොමිසම් සභා සාමාජිකයන් ඍජුවම වග කියන්නේ ජනාධිපතිවරයාටය. එමෙන්ම ජනාධිපති කොමිසමක ප්‍රධානත්වය බොහෝ විට උසුලනු ලබන්නේ හිටපු ජ්‍යේෂ්ඨ විනිශ්චයකාරවරයකු විසිනි.

එහෙත් සති කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ පැන නැඟුණු කතාවක් නිසා මේ සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක නියැළෙන්නට අපට සිදු විය. 

ඒ ජනාධිපති කොමිෂන් සභා ගැන සොයන්නත් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර ඇති බවට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් නිසාය. ලෝකයේ කිසිම රටක එවැනි කොමිෂන් සභාවක් පත් කර නැතැයි ද ඔහු සඳහන් කළේය. ඔහු එසේ පැවසුවේ අය වැය දෙවැනි වර කියැවීමේ විවාදයකදීය.

ජනාධිපති කොමිෂන් සභාවක් පත් කෙරෙන්නේ ‘1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ‘‘ විධිවිධාන වලට අනුවය. ඒ සඳහා වැය කළ යුතු මුදලද අතිවිශාලය. විශේෂයෙන්ම අග නගරයේ කාර්යාලයක් වෙන් කිරීම, සාමාජිකයන්ට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සපයා දීම මෙන්ම අදාළ කරුණු විමර්ශනය පිණිස ද අධික පිරිවැයක් දරන්නට සිදු වේ.

ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමටත් පෙර එනම් 2005 වසරේ සිට පත් කරන ලද ජනාධිපති කොමිසම් සභා වාර්තාවන්ගේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවට පසුගිය කාලයේ විවිධ සංවිධාන මඟින් විවිධ කථිකාවත් ගොඩනංවන ලදී. මේ කොමිසන් සභා සුදු අලියෙක් බවට ද ඔවුහු චෝදනා කළහ.

2005 වසරේ සිට පත් කරන ලද ස්වාධීන ජනාධිපති කොමිසම් සභා සියල්ලේ වාර්තා ප්‍රසිද්ධ කරන ලෙස සමාජ සංවිධාන රැසක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින ලදී. ජනාධිපති කොමිසම් වාර්තා මෙන්ම ස්වාධීන කොමිසම් වාර්තා ද ඊට අමතරව, 2006 වසරේදී පත් කෙරුණු සර්ව පාක්ෂික නියෝජිත කමිටු වාර්තාවේ විස්තර ද ජනතාවට ඉදිරිපත් කරන ලෙස සිවිල් සංවිධාන විසින් ඉල්ලා සිටින ලදී.

සිවිල් සංවිධාන මෙන්ම සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිස් විසින් මෙසේ කොමිසම් සභා වාර්තාවන්හි විස්තර ඉල්ලා සිටින ලද්දේ බොහෝ වාර්තාවන් විමර්ශන කමිටුවලට පමණක් සීමා වූ නිසාය. ඒ සඳහා වැය කළ මුදල අති විශාලය.

සිළුමිණ මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ජනාධිපති කාර්යාලයෙන් ලබා ගත් තොරතුරු ඇසුරින් මේ ලිපිය සකස් කරන ලදී.

එම තොරතුරු අනුව අපට පෙනී යන්නේ පසුගිය වසර 10ක කාලය තුළ එනම් 2012 වසරේ සිට 2022 අගෝස්තු මස 21 දක්වා වන වසර 10ක කාලය තුළදී ජනාධිපති කොමිෂන් සභා වෙනුවෙන් රුපියල් කෝටි 55ක් ( 553,502,644.46) වැය කර ඇති බවයි.

2012 වසරේ සිට මේ දක්වා කොමිෂන් සභා 13ක් ක්‍රියාත්මක වී ඇත.

එයින් පළමුවැන්න ලෙස පෙන්වා දිය හැක්කේ 2013.06.20 දින පත් කළ ‘මාතලේ මහ රෝහල් පරිශ්‍රය තුළ දී හමු වූ මිනිස් ඇටසැකිලි සම්බන්ධයෙන් වූ කරුණු විමර්ශනය කිරීමේ පරීක්ෂණ කොමිෂන්‘ සභාවයි. එය 2013 වසරේ ජූනි 20 දින සිට 2014 වසරේ දෙසැම්බර් 20 දක්වා පැවැත්වුණි.

එම වසරේම ආරම්භ වූ අනෙක් ජනාධිපති කොමිෂන් සභාව වන්නේ ‘1983 .01.01 දින සිට 2009.05.19 දින දක්වා කාල පරිච්ජේදය තුළ උතුරු හා නැඟෙනහිර පළාත්වල අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ පරීක්ෂණ කොමිෂන් සභාව‘යි. එය ස්ථාපිත කරන ලද්දේ 2013.08.12 දින වන අතර එහි බලාත්මක කාලය 2016 වසරේ මැයි මස 15 දක්වා පැවැත්වුණි. එම වසර තුළ පමණක් ජනාධිපති කොමිසම් සභා වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 80 (8,018,367.33)කි. පෙර වසරේ එනම් 2012 වසරේ කිසිදු කොමිසම් සභාවක් ස්ථාපිත කර නොතිබුණු නමුත් පෙර ස්ථාපිත කළ කොමිෂන් සභා වෙනුවෙන් රුපියල් රුපියල් ලක්ෂ 24ක් වැය කර තිබුණි. (එනම් 24,62,596.62කි)

2014 වසරේ අලුතින් කිසිදු කොමිසමක් ස්ථාපිත නොකළ ද පෙර ස්ථාපිත කළ කොමිසම් සභා පවත්වා ගෙන යෑම වෙනුවෙන් රුපියල් කෝටි 3ක් (රුපියල් 29,275,905.27) පමණ වැය කර තිබේ. 2015 වසරේ ස්ථාපිත කරන ලද්දේ එක් කොමිසමක් පමණි. ඒ ‘2010 ජනවාරි මස 10 දින සිට 2015 ජනවාරි මස 10 වැනි දින දක්වා කාල සීමාව තුළ සිදු වූ බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ පරීක්ෂණ කොමිෂන් සභාවයි.

එය 2015 මාර්තු මස 03 දින සිට 2017 දෙසැම්බර් මස 03 දක්වා පැවැත්වුණි.

එම වසර තුළ කොමිසම් සභා වෙනුවෙන් වැය කරන ලද මුදල රුපියල් කෝටි 4කට ආසන්නය. (රුපියල් 39.732.489.07කි)

2016 වසරේද කිසිදු කොමිෂන් සභාවක් අලුතින් ස්ථාපිත කර නොමැති අතර එම වසරේදී කෝටි හතරකට අධික මුදලක් වැය කර තිබේ. (රුපියල් 41,684,271.75කි)

2017 වසරේ ස්ථාපිත කළ ජනාධිපති නොමිෂන් සභාව වන්න් ‘‘2015.02.01 දින සිට 2016.03.31 දින දක්වා කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ පරීක්ෂණ කොමිෂන් සභාව‘ යි. එය 2017 ජනවාරි මස 27 දින සිට 2017 දෙසැම්බර් මස 31 දක්වා බලාත්මකව පැවතුණි.

එම වසරේදී ජනාධිපති කොමිෂන් සභා වෙනුවෙන් වැය කළ මුදල රුපියල් රුපියල් කෝටි 6කට ආසන්නය (51.997,121.44 කි).

2018 වසරේද ස්ථාපිත කර ඇත්තේ එක් කොමිසමක් පමණි. ඒ ‘සී/ස ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම , සී/ස ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ සී/ස මිහින් ලංකා (පුද්ගලික) සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වූ පරීක්ෂණ කොමිෂන් සභාව‘ යි. එය 2018 ජනවාරි 31 දින සිට 2019 ජූනි 30 දක්වා බලාත්මක විය.

එම 2018 වසර තුළදී රුපියල් කෝටි 3කට අධීක මුදලක් ඒ සඳහා වැය කර තිබේ (රුපියල් 32,990,266.17කි).

2019 වසරේ ජනාධිපති කොමිෂන් සභා දෙකක් ස්ථාපිත කළ අතර 2019 වසරේ ජනවාරි 14 වෙනිදා ස්ථාපිත කළ ‘2015 ජනවාරි මස 15 දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ සහ වංචා සෙවීමේ පරීක්ෂණ කොමිෂන් සභාව‘ හා 2019 වසරේ සැප්තැම්බර් 20 දින ස්ථාපිත කළ ‘2019 අප්‍රේල් මස 21 දින දිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන පරීක්ෂණ කොමිෂන් සභාව‘ එම ජනාධිපති කොමිෂන් සභා දෙක වන අතර එයින් පළමු වැන්න එම වසරේම ඔක්තෝබර් 31 අවසන් වූ අතර දෙවැන්න වන පාස්කු කොමිසම 2021 ජනවාරි මස 31 දක්වා බලාත්මක විය. එම වසර තුළදී පමණක් කොමිසම් සභා වෙනුවෙන් වැය කළ මුදල රුපියල් කෝටි 9කට ආසන්නය. (88,140,474.51කි)

එමෙන්ම 2020 වසරේද කොමිෂන් සභා දෙකක් ස්ථාපිත කළ අතර ජනවාරි මස 9 වෙනි දින ස්ථාපිත කළ ‘2015 ජනවාරි මස 8 වැනි දින ආරම්භ වී 2019 නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරින්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයන්ට සිදු වී ඇතැයි කියන දේශපාලනමය පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන පරීක්ෂණ කොමිෂන් සභාව ‘ඉන් පළමු වැන්න වන අතර එය එම වසරේම නොවැම්බර් මස 25 දිනෙන් අවසන් වූ අතර 2020 ජනවාරි මස 9 වැනි දිනම ආරම්භ වු අනෙක් කොමිසම වන ‘ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන ලද මූල්‍ය සමාගමක් වන ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් (ඊටීඅයි) සම්බන්ධව සිදු විණැයි කියන වැරදි ක්‍රියා අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සඳහා වු පරීක්ෂණ කොමිෂන් සභාව‘ 2020 ඔක්තෝබර් 9 දක්වා බලාත්මක විය.

එම වසරේ ජනාධිපති කොමිෂන් සභා වෙනුවෙන් වැය කළ මුදල රුපියල් කෝටි 13කට ආසන්නය. (රුපියල් 129,160,742.31 කි) මෑත දශකය තුළ වැඩිම ජනාධිපති කොමිෂන් සංඛ්‍යාවක් ස්ථාපිත කරන ලද්දේ 2021 වසරේ දී ය. එම සංඛ්‍යාව 3කි. එයින් පළමුවැන්න වන්නේ පෙර බලාත්මකව පැවති ස්වාධීන කොමිෂමක් ජනාධිපති කොමිසමක් බවට පත් කළ ‘ මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කිරීම පිළිබඳව විමර්ශනය කිරීම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවයි.

එය ජනාධිපති කොමිෂන් සභාවක් ලෙස 2021 වසරේ ජනවාරි මස 20 දින ස්ථාපිත කර 2022 වසරේ දෙසැම්බර් 31 දින අවසන් කරන ලදී.

එම වසරේ ජනවාරි 28 වැනිදා ආරම්භ කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව 2022 වසරේ අප්‍රේල් මස 28 දින දක්වා බලාත්මක විය.

එමෙන්ම ‘ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කාර්යයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කොමිෂන් සභාව‘ 2021 පෙබරවාරි 24 දින ආරම්භ වී 2022 මාර්තු 31 දින අවසන් විය. එම වසරේ රුපියල් කෝටි 9කට අධික මුදලක් කොමිෂන් සභා වෙනුවෙන් වැය කරන ලදී

(95,324,366.68). එමෙන්ම 2022 වසරේ මේ දක්වා පත් කර ඇත්තේ එක් ජනාධිපති කොමිසමක් පමණි. ඒ 2022 මාර්තු මස 31 වැනි දින සිට 2022 ජූලි මස 22 වැනි දින දක්වා කාල පරිච්ඡේදය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ ගිනි තැබීම් ඇතුළු සියලු ආකාරයේ විනාශකාරී ක්‍රියාවන් මංකොල්ලකෑම් සහ සොරකම් හේතුවෙන් සිදු වු ජීවිත අහිමි වීම් සහ පුද්ගලයන්ට තුවාල සිදුවීම් දේපළ අලාභ හානි සහ විනාශවීම් පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා වන පරීක්ෂණ කොමිෂන් සභාව 2022 මැයි මස 31 දින ආරම්භ වී 2022 නොවැම්බර් 30 දක්වා බලාත්මක විය.

මේ කොමිසම බලාත්මක වෙමින් තිබියදී මැයි මස 31 දිනෙන් පසුව ආරම්භ වු ක්‍රියාවන්ද කොමිසන් සභාවට ඇතුළත් කර ගන්නා ලදී.

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා රුපියල් ලක්ෂ 35කට ආසන්න මුදලක් (34,716,043.31) කොමිෂන් සඳහා වැය කර තිබේ.

ඒ අනුව 2012 වසරේ සිට 2022 වසරේ අගෝස්තු මාසය දක්වා පමණක් කොමිෂන් සභා වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 5,500 කට (553,502,644.46) අධිකය. වසර 10කටත් අඩු කාලයක් වෙනුවෙන් මෙසේ අතිවිශාල මුදලක් දරා ලබා ගන්නට හැකි වූ ප්‍රතිඵල මොනවාදැයි යන්න ගැටලු සහිතය.

එවන් අතිවිශාල මුදලක් ශ්‍රී ලංකාව වැනි රටකට දැරිය නොහැකිය.

ජනාධිපතිවරයා විසින් කොමිසම් සභා ස්ථාපිත කිරීමෙන් පසුව එහි විමර්ශන කටයුතු සිදු කරන්නේ සාක්ෂි විමර්ශනය කර අදාළ කොමිෂන් සභා කමිටු සාමාජිකයන් හා ඊට අදාළ විමර්ශකයන් විසිනි.

එහෙත් මේ දක්වා මේ කමිටුවලින් සාධාරණයක් වූ බවක් නම් නොපෙනේ. එයට හේතුව නීතියේ ඇති හිල් ද එසේ නැත්නම් කමිටු විමර්ශනයේදී නිසි පරිදි විමර්ශන කටයුතු සිදු නොවීම ද යන්න ගැන අපට විවරණය කළ නොහැකිය.

මේ ලිපිය ලියන ලියුම්කරුද පාස්කු කොමිසමේ සාක්ෂිකරුවෙකි. ඔහුගෙන් කොමිසම පැය 5කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. නැඟෙනහිර ක්‍රියාත්මක අන්තවාදී ආගමික කල්ලි පිළිබඳව සාක්ෂි හඬපට සහිතව විමර්ශකයන්ට ලබා දුන්න ද එයින් කිසිදු ප්‍රතිඵලයක් මේ දක්වා ලැබී නොමැත. නැඟෙනහිර ඇතැම් පළාත්වල තවමත් අන්තවාදී ආගමික ක්‍රියාවන් මෙන්ම කැලෑ නීතියද රජයනු පෙනේ.

මේ තත්ත්වය මත ජනාධිපති කොමිෂන් සභා පත් කිරීමෙන් ජනතාවට වන්නා වූ සෙත කුමක්ද යන්න ගැන සමාජ සංවිධාන සිවිල් ක්‍රියාකාරිකයන් විමසීම එක් අතකින් සාධාරණය.

ජනාධිපති කොමිසම යනුවෙන් හැඳින්වුව ද මෙය ජනාධිපතිවරයා හෝ දේශපාලඥයන් විසින් හෝ මෙහෙයවන හෝ අත පොවන කොමිසමක් නොවේ. එහෙත් කොතැනක හෝ වරදක් ඇති බව අනුමාන කළ හැකිය. කොමිසම් සභා තවත් වසර ගණනාවක් ගොස් එහි ප්‍රතිඵලය වන්නේ ජනතා මුදල් වැය වීම පමණක් නම් එයින් ජනතාවට කිසිදු ආකාරයේ සුගතියක් ඇති නොවන්නේ නම් අපි කුමක් කරමුද?

මීට පෙර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ පොලිස් වෙඩි ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා 2011 වසරේ දී ඒක පුද්ගල කොමිසමක් පත් කළ අතර පානීය ජලය ඉල්ලා රතුපස්වල පැවති උද්ඝෝෂණයට හමුදාව මැදිහත් වීම පිළිබඳ සොයා බැලීම සඳහාද කොමිසමක් ස්ථාපිත කළ අතර ඒ කොමිසම් හරහා සාධාරණ විමර්ශනයක් සිදු වූ බවක් නොපෙනේ.

මිට අමතරව අතුරුදන් වුවන් පිළිබඳ සොයා බැලීම සඳහාත් කොමිසම් පත් කෙරුණි. එම කොමිසම් අතුරින් 2010 වසරේ පත් කරනු ලැබූ “උගත් හා සංහිඳියාව කොමිසම්” වාර්තා සමාජයේ අවධානයට යොමු කෙරුණු අතර පසුව ප්‍රසිද්ධියට පත් කළ උදුලාගම කොමිසම හා පරණගම කොමිසමේ වාර්තා සමාජයේ දැඩි විමර්ශනයට බදුන් වූයේ වත් නැත.

තව දුරටත් ජනාධිපති කොමිසම් පත් කරන්නේ නම් අප මේ සඳහන් කළ කොමිසම් සභා ක්‍රියාකාරීත්වය ගැන අනිවාර්යෙන්ම විමර්ශනයක් කළ යුතුය. ඒවායේ ප්‍රගතිය, ප්‍රතිඵල ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේම ‘‘ජනාධිපති කොමිසම් ගැන සොයන තවත් කොමිසමක් පත් කිරීම ‘‘ ගැන කතා කිරීමෙන්ම මේ තත්ත්වය වටහා ගත හැකිය.

අපට පෙනී යන්නේ කොමිසම්හි විමර්ශකයන් ලෙස ‘වැඩ බැරි ටාසන්ලා ‘ පත් කිරීමෙන් මේ තත්ත්වයන් හට ගෙන ඇති බවයි.

විමර්ශකයන් විසින් ලබා ගන්නා සාක්ෂි දත්ත මත පදනම්ව ඉදිරි කටයුතු කරන්නට කොමිසමේ සාමාජිකයන්ට හා කමිටුවලට සිදුවන බැවින් ගොරකා දඩමස් කරන්නට හෝ දඩමස් ගොරකා කරන්නට විමර්ශකයන්ට හැකිය. – තාරක වික්‍රමසේකර


පුවත යවන්න