ජපානයේ දී ලාංකීය කතක් මිය ගියේ නිරාහාරව / එරට මාධ්‍ය හෙළිකරයි

ජපානයේ නගෝයා නුවර සංක්‍රමණිකයන් රදවා තබන කඳවුරක දී 33 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක මරණයට පත්ව ඇත්තේ නිරාහාරව සිටීමෙන් බව ජපානයේ asahi වෙබ් අඩවිය අනාවරණ කර තිබෙනවා.
තමන් මෙම මධ්‍යස්ථානයෙන් මුදා හරින ලෙස ඉල්ලා ඇතත් මාස 7ක් පුරා එහි රදවා ගැනීම සමග මතුවූ මානසික ආතතිය මත ආහාර ලබා නොගන්නා මට්ටමකට පත්ව සිටි බවයි මෙම කාන්තාව තබා තිබූ සටහන් වල දැක්වෙන්නේ.
2017 වසරේ ශිෂ්‍ය වීසා මත ජපානයට ගිය ඇය පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන තිබුණේ , වීසා කාලය ඉකුත්ව තිබීම මතයි.
ඉන් පසු තමන් මුදා හරින්නැයි ඇය කළ ඉල්ලීම් ජපාන සංක්‍රමණික බලධාරීන් ප්‍රතික්ෂේප කළ බව ද ඇයගේ සටහන්වලින් අනාවරණවී තිබෙනවා.
රැදවුම් මධයස්ථානයේ අවම පහසුකම් හෝ නොලැබුණු බවට ඇය පැමිණිලි කර ඇති අතර, දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් දෙවරක්ම රෝහල්ගත කිරීමටද පියවර ගෙන තිබුණා.
මෙම ලාංකීය කාන්තාවගේ මරණය පිළිබදව විමර්ශනයක් සිදුකරන ලෙස ජපාන අධිකරණ ඇමතිනී කමිකාවා යෝකෝ නියෝග කර ඇත්තේ එරට අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබද සාකච්ඡා කිරීමෙන් පසුවයි.
සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ජපාන බලධාරීන් කටයුතු කරන ආකාරය ද මේ සමග දැඩි අප්‍රසාදයකට ලක්ව තිබෙනවා.
මියයාමට පෙර මෙම කාන්තාව තබන ලද සටහන් එරට මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර , ඒවායේ දැකවෙන්නේ තමන්ට සහාය අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් ඊට අදාළ උපකාර නොලැබීම මත ඇය නිරාහාරව මරණයට පත්ව තිබුණේ මාර්තු 06 වනදායි.
මෙම මරණය සමග ජපානයේ සංක්‍රමණිකයන් සම්බන්ධ පිළිවෙත වහා වෙනස් විය යුතු බවටයි යෝජනා ඉදිරිපත්ව ඇත්තේ.
අදාළ මරණය සම්බන්ධයෙන් ජපාන ජනතාව විසින්ද කනස්සල්ල පළ කර ඇති බවයි asahi පුවත්පත වාර්තා කළේ.

Photo/Illutration

පුවත යවන්න