ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනාවට ඡන්දය දීමේදී කොමිසමේ සාමාජික රටවල්වල ප්‍රබල බෙදීමක් හටගෙන තිබේ. ඒ අනුව එහි සාමාජික රටවල් 47 මේ වන විට තුනට බෙදී සිටින බව තානාපති අංශ ආරංචි මාර්ග කියයි.
අප වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව මෙයට පෙර ශ්‍රී ලංකාවට පක්ෂව මත ප්‍රකාශ කළ රටවල් ගණනාවක් බටහිර ජාතීන් විසින් ඔවුන්ගේ පැත්තට හරවාගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන අංක 46 දරන යෝජනාවට පක්ෂව සාමාජික රටවල් 20ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි සඳහන්ය. ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 10ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇත. ඉතිරි රටවල් 17ම මධ්‍යස්ථව සිටීමට තීන්දු කර තිබේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47න් බහුතරය යෝජනාවට පක්ෂ නොවීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයකි. මධ්‍යස්ථව සිටින රටවල් 17 සහ ශ්‍රී ලංකාවට පක්ෂ රටවල් 10 ගත් විට එතැන රටවල් 27ක් වෙයි.
එහෙත් මෙහි විශේෂය වන්නේ දකුණු ආසියානු කලාපයේ අපේ හිතවත් අසල්වැසියන් වන ජිනීවා ඡන්ද හිමි ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් තුනම මෙම යෝජනාවේදී මධ්‍යස්ථ ස්ථාවරයක් අනුගමනය කිරීමයි. යුරෝපා ප්‍රජාවේ සහ අමෙරිකාවේ දැඩි පීඩනය අපට හිතවත් රටවල් වෙත එල්ලවීම නිසා මෙම තත්ත්වය හටගෙන තිබේ. ජිනීවා මානව හිමිකම් කොමිසම පිළිබඳ විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ එම කොමිසම මේ ආකාරයේ යෝජනාවක් මෙයට පෙර ගෙනැවිත් ඇත්තේ සිරියාව, මියන්මාරය සහ උතුරු කොරියාවට එරෙහිව පමණක් බවය.
කෙසේ වෙතත් මුලින්ම මෙම කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවේ වගන්ති ගණනාවකට ශ්‍රී ලංකාව ප්රමුඛ හිතවත් රටවල් දැඩි විරෝධය දැක්වීම නිසා එම යෝජනා සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරියට සිදුවිය. ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට ඡන්දය විමසීම මෙම මස 23දා සිදු කිරීමට නියමිතය. – Deshaya