ජිනීවා සැසිවාරයේදී ඉන්දියාවේ සහාය ලංකාවට / ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි නොවීමේ සූදානමක පසුවන බව ඉන්දියාවේ ඩෙකෑන් හැරල්ඩ් පුවත්පත වාර්තාකර තිබෙනවා.
ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත පවසන්නේ ,එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් රටක ස්වාධීනත්වයට බලපෑම් නොකළ යුතුය යන ස්ථාවරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැරීමට මෙවර ඉන්දියාව තීරණය කර ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහි පියවරට සහයෝගය දෙන ලෙස ඩී.එම්.කේ නායක එම්.කේ. ස්ටාලින් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේපවී ඇතැයි ද මෙම වාර්තාව අනාවරණ කළා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් හටගත් මතභේදකාරී තත්ත්වය නොසලකා ඉන්දියාව මෙම තීරණයට එළඹ ඇති බවද ඩෙකෑන් හැරල්ඩ් වාර්තා කළා.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළ එකඟතාවය බිද දැමීමට චීනය ක්‍රියාත්මක වූ බව ඉන්දියාව විශ්වාස කළ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහි කිසිදු පියවරකට සහය නොදක්වන බවයි එමගින් තහවුරු කර ඇත්තේ.
මෙම සැසිවාරයේදී ඉන්දියාවේ සහාය ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව දැනටමත් ඉල්ලීමක් කර ඇති බවද ඩෙකෑන් හැරල්ඩ් අනාවරණ කර තිබුණා.
මෙවර 46 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරය පෙබරවාරි 22 වනදා ආරම්භ කිරීමට නියමිතයි. – අමල් අල්මේදා

පුවත යවන්න