ජොන්ස්ටන් ප්‍රනාන්දු නඩු තුනකින් නිදහස්

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොණු කර තිබූ නඩු 03 කින් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධි සී රාගල මහතා ඉදිරියේ අද නඩුව කැදවූ අවස්ථාවේදීයී අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. වෙළද අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 4 කට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලක් කොමිසම අමාත්‍ය ජොන්ස්ටන්  ප්‍රනාන්දු ඇතුලු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩු 3 ගොණු කර තිබුණා. අල්ලස් කොමිසමේ නිලධාරීන් අද අධිකරණයට දන්වා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අනෝමා පොල්වත්ත නඩු තීන්දුවට අනුව මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන් දෙනාගේ විධානයක්  ලබාගෙන යළි නඩු පැවරීමේ අයිතියට යටත්ව මෙම විත්තිකරුවන් මුදා හරින ලෙස එම කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. එය පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කළා.

පුවත යවන්න