ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් පළමු ආසාදිතයා වාර්තා වෙයි

මෙම වසරේ ජූලි 23 වනදා  ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට දින 6ක් තිබියදී ටෝකියෝ හි ඔලිම්පික් ගම්මානයෙන් අද දිනයේ ප්‍රථම වරට කොරෝනා ආසාදිතයෙක් හදුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔලිම්පික් ගම්මානයෙන් හදුනාගත් ආසාදිතයා ඉවත් කිරීමට පියවර ගත් බව ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ ප්‍රකාශක මාසා ටකායා පවසනවා.

ආසාදනය වූ තැනැත්තා පිළිබද තොරතුරු අනාවරණය නොකිරීමටයි සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබෙන්නේ. එම පුද්ගලයා මේ වන විට ටෝකියෝ හි හෝටලයක නිරෝධායනයට යොමු කර තිබෙනවා. එමෙන්ම ලොව පුරා නන්දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින ඔලිම්පික් ගම්මානයේ කොරෝනා ව්‍යාප්තියක් ඇතිවීම වළක්වාලීමට සියලු පියවර ගෙන ඇති බවයි ඔලිම්පික් සංවිධායක මණ්ඩලය පවසන්නේ.

කොරෝනා වයිරස් ව්‍යාප්තියේ ආරම්භයත් සමග 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය වසරකින් කල්දැමුණා.

මේ අතර ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා වයිරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 70% කින් ඉහළ ගිය අතර මරණ සංඛ්‍යාව ද 26%කින් ඉහළ ගිය බව එරට වසංගත රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය පවසනවා. ලොව පුරා රටවල් ගණනාවක පැතිර යන ප්‍රභල ඩෙල්ටා වයිරසය මෙයට හේතුවී ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

පුවත යවන්න