ණය අරන් , රාජ්‍ය දේපල විකුණලා ලංකාව ගොඩගන්න බෑ – අනුර කුමාර දිසානායක

රාජ්‍ය දේපළ විකුණා හෝ ණය ලබාගෙන ශ්‍රී ලංකාව සංවර්ධනය කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ,අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පසුගිය දශක තුන හතරක කාලය තුළ එම උපාය මාර්ගය ක්‍රියාත්මක කළ ද එමගින් ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි වූ බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
පානදුර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් දිසානායක මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ණය ලබාගෙන රට සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් 2015 සහ 2019 වසරවලදී ඩොලර් බිලියන 12.5ක් ණය ලෙස ලබාගත් අවස්ථාවේදී එය කළ හැකිව තිබූ බවයි.

ඔහු මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වසර හතරකට ලබා ගන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් පමණයි.ඔහු 2015 සහ 2019 වසර හතර හමාරක් ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5ක් ලබා ගත්තා.හම්බන්තොට වරාය විකුණා ඩොලර් බිලියනයක් ද ලබා ගත්තා. නමුත් ඔහුට රට දියුණු කරන්න බැරි වුණා. වසර හතරකට ඩොලර් බිලියන 2.9ක් පමණක් ලබාගෙන කොහොමද රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නේ.

ශ්‍රී ලංකාව පසුගිය කාලය තුළ රජයේ ව්‍යාපාර 88ක් විකුණා දමා ඇති බව පැවසූ අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය දේපළ විකිණීම තවදුරටත් ආර්ථික අර්බුදයට විසඳුමක් නොවන බවද සදහන් කළා.

රාජ්‍ය සම්පත් විකිණීම පිටුපස වංචාව, දූෂණය සහ අවභාවිතය ඉහවහා ගොස් ඇති බවත්, රට සංවර්ධනය කිරීමට නම් මෙවැනි ක්‍රියා නතර කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.

වංචාවෙන් හා දූෂණයෙන් තොර රජයක්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, නීතියක් හා සාමයක්, නව ව්‍යවස්ථාවක් සහ රාජ්‍ය සම්පත් රට සංවර්ධනය කිරීමට උපරිමයෙන් යෙදවිය යුතු බව පැවසූ දිසානායක මන්ත්‍රීවරයා අනාගතයේදී එවැනි රජයක් බිහි කිරීමට අනාගත ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බවයි කියා සිටියේ.

පුවත යවන්න