තරුණිය ඝාතනය කළ එස් අයි ගේ නිවසේ ළිදට කැමරාවක් යවා පරීක්ෂණ

වේල්ලවීදියේ ගමන් මල්ලකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ, හිස කොටස සොයා අද දෙවන දිනටත් විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
ඒ, කැළණි ගඟ සහ දිවි නසා ගත් උපපොලිස් පරීක්ෂකවරයාගේ බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි නිවස ආශ්‍රිතවයි.
අදාළ තරුණිය ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණෙන විට රැගෙන ආ ගමන් මල්ල තවමත් අතුරුදන්වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරනවා.
විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද කොළඹින්, බුත්තලට පිටත්ව ගිය බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර, අදාළ ඝාතනයට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා කරේ එල්ලා ගත් බෑගයක් රැගෙනවිත් ඇති බවට අනාවරණ වී ඇති කරුණු අනුව ඝාතනයට ලක්වූ තරුණියගේ හිස එම බෑගයේ දමාගෙන පැමිණ ඇති බවට ද සැක කෙරෙනවා.
ඔහු බුත්තල සිට මිතුරෙකු සමඟ යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති බව මේ දක්වා සිදුකළ විමර්ශන වලදී අනාවරණ වුණා.
එම සෝදිසිය අතරතුර සැකකරු නිවසට පැමිණි අවස්ථාවේ ඇද සිටි බවට සැලකෙන කමිසයක් නිවස පිටුපස පුළුස්සා දමා තිබියදී පොලීසිය සොයා ගෙන තිබුණා.
එම කමිසය සිය පියාගේ බවට ඔහුගේ දියණිය විසින් හඳුනා ගත් බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
පිලිස්සුනු එම කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද නියමිතයි.
එසේම, සැකකරුගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳේ ජලය ඉවත් කර එය තවදුරටත් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි පොලීසිය සූදානම් වනවා.
ඊට පෙර විශේෂ කැමරාවක් ළිඳ තුලට යොමුකර අදාළ හිස කොටස එහි තිබේදැයි පරීක්ෂාවට ලක් කර තිබුණා.

පුවත යවන්න