ත්‍රස්තවාදයට ගැන අවදානයෙන් ඉන්න / දකුණු ආසියාතික රටවලට උපදෙස්

දකුණු ආසියානු රටවල් ත්‍රස්තවාදයට එරෙහි බහුවිධ උපායමාර්ග අනුගමනය කළ යුතු බව යුරෝපා කලාපීය , තින්ක් ටෑන්ක් සංවිධානය පවසනවා.
විශේෂ වාර්තාවක් නිකුත් කරන එම සංවිධානය පවසන්නේ ඉදිරි සමයේ දී ත්‍රස්තවාදී කණ්ඩායම්වල මූලික මර්මස්ථානයක් බවට එම කලාපය පත්වීමේ අවදානමක් ඇති බවයි.
අයිඑස් සහ අල්කයිඩා වැනි ත්‍රස්ත සංවිධානවල ප්‍රධාන ක්‍රියාකාරකම් මූලික වශයෙන් පදනම් වී ඇත්තේ මැද පෙරදිග ආශ්‍රිතව වුවද එය දකුණු ආසියාව වෙත මෙන්ම ගෝලීය වශයෙන් ද ව්‍යාප්ත කරමින් පවතින බව සදහන්.
රාජ්‍ය නොවන සංවිධානවල සහ ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් හේතුවෙන් දකුණු ආසියාවේ ආරක්ෂාවට ද අහිතකර තත්ත්වයන් මතුව ඇති අතර තලේබාන් සංවිධානය නැවත ශක්තිමත්වීම ඇෆ්ගනිස්ථානය යළිත් අවදානමට ලක් කර තිබෙනවා.
පාකිස්තානය මුල් කරගත් ලෂ්කාර්- ඊ- තායිබා 2001 දී නවදිල්ලියේ ඉන්දීය පාර්ලිමේන්තුවට පහර දීම හා 2008 දී මුම්බායි හි දින හතරකට වැඩි කාලයක් ප්‍රහාරයක් එල්ල කරමින් සිදුකළ විනාශය ද අමතක නොකළ යුතු බවයි මෙම වාර්තාව පවසන්නේ.
බංග්ලාදේශය, මාලදිවයින, මියන්මාරය, නේපාලය සහ ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් දකුණු ආසියානු රටවල් තුලද මෙම අවදානම පවතින බව තින්ක් ටෑන්ක් සංවිධානය පවසනවා.ඒ අනුව අනාගත අවදානම් පිළිබද අවදානය යොමුකරමින් ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්නැයි දකුණු ආසියාතික රටවලට යෝජනා කර තිබෙනවා.

පුවත යවන්න