තෙල් පෝලිමක තවත් මරණයක්…

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් තුළ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී  මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, 76 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.

ඒ අනුව ඉන්ධන පෝලිම් ආශ්‍රිතව ඇද වැටීම්වලින් ජීවිතය අහිමිවූ මෙරට තුන්වන පුද්ගලයා මොහුයි.

මීට පෙර ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව මරණ දෙක වාර්තා වූයේ,  කඩවත හා මහනුවර ප්‍රදේශවලිනි.

පසුගිය 20 වනදා කඩවත ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි 70 හැවිරිදි මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත් විය.

ඊට අමතරව පසුගිය 19 වනදා භූමිතෙල් ලබා ගැනීම සඳහා මහනුවර ප්‍රදේශයේ පෝලිමක සිටි පුද්ගලයක් ද ඇද වැටී මියගියේ ය.

ඔහු 71 හැවිරිදි වියේ පසුවූ වත්තේගම, උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර අද (21) අලුයම ඉන්ධන ලබා ගැනීමේදී සිදුවූ ආරවුලක් මත පුද්ගල ඝාතනයක් ද වාර්තා විය.

ඊයේ(20) රාත්‍රී කාලයේදී හොරගොල්ල ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකු හා යතුරු පැදිකරුවෙකු අතර හටගත් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව තිබිණ.

පොලීසිය පැවසුවේ , ත්‍රීරෝද රථ රියැදුරු ඉන්ධන ලබා පිටව ගොස් මග රැක සිට ඉන්ධන ලබා ගමන් කරමින් සිටි යතුරුපැදිකරු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි .

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කොළඹ – 14 පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

පුවත යවන්න