දවස් දෙකකදී කොටස් වෙළඳපලට බිලියන 600ක් අහිමි වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (26) දිනයේ දී ඒකක 608.48 කින් පහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,905.37 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසඳීමේ දී 8.10% ක පහළ යාමක් වේ.

මේ අතර ඊයේ දිනයේ දී සාමාන්‍ය ගනුදෙනු සමාප්ති වේලාවට පෙර වෙළෙඳපොළ වසා දැමූ අතර පෙරේදා දිනයේ දීද මෙලෙස ම කලින් කොටස් වෙළෙඳපොළ වසා දමනු ලැබිණි. S&P SL20 දර්ශකය 10% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.

ඊයේ දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 229.58 ක හෙවත් 9.75% ක පහළ යෑමක් වාර්තා කර ඇති අතර දිනය අවසානයේ දී එම අගය ඒකක 2,125.96 ක් ලෙසින් දැක්වුණි.

විටින් විට අවස්ථා තුනක දී දෛනික ගනුදෙනු සැසි අත්හිටුවී බැවින් ඊයේ දිනයේ දී ගනුදෙනු සිදු වූයේ මිනිත්තු 5කටත් අඩු කාලයකි. මෙම කාලය තුළ දී රු. මිලියන 800.41 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

මේ අතර ඊයේ දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 2,938.82 ක් ලෙසින් සටහන්ව තිබේ.

මෙම වටිනාකම පෙරේදා (25) දින ගනුදෙනු ආරම්භයට පෙර සටහන්ව පැවතියේ රු. බිලියන 3,538.06 ක් ලෙසයි.

ඒ අනුව දින දෙකක් තුළ දී රු. බිලියන 599.24 කින් කොටස් වෙළෙඳපොළ වටිනාකම අඩු වී ඇත.

පුවත යවන්න