දුම්රිය ගමන්වාර රැසක් අවලංගුවීමේ අවදානමක්

ඉදිරියේදී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවනු ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න පවසයි.

මේ වන විට පවතින සේවක පුරප්පාඩුව ඊට ප්‍රධානතම හේතුව බව ඔහු පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ වයස අවුරුදු 60න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් විශ්‍රාම යාමට නියමිතව ඇති බවයි.

“දුම්රිය දෙපාර්තමේන්තුවේ, විශේෂයෙන්ම පුහුණු කාර්ය මණ්ඩල සේවකයින් සහ නියාමක ෂන්ටර්, කැබින්මන් වැනි මෙහෙයුම් කාර්ය මණ්ඩල සහ කාර්මික කාර්ය මණ්ඩල සීමාව නිසා විශාල වශයෙන් 50%ක පමණ ප්‍රමාණයක් විශ්‍රාම යෑමට නියමිතයි. දැනටත් දුම්රිය අවලංගු වෙනවා නියාමක මහතුන් නැති නිසා. ඒ නිසා මෙහෙයුම් කාර්ය මණ්ඩලවල විශාල හිඟතාවයක් තියාගෙන තමා දැනටත් දුම්රිය ලබා දෙන්නේ. හැබැයි ඉදිරියේ දී අපට විශාල ගැටලුවකට මුහුණදෙන්න සිද්ධවෙනවා පුරප්පාඩු තවත් දෙගුණයකින් වැඩි වුණාම. මේ තියෙන දුම්රිය ප්‍රමාණය බොහෝ දුරට විශාල ප්‍රමාණයකින් සීමා කරන්න වෙනවා. මොකද නියාමක මහත්තයෙක් අද ගත්තහම අවුරුදු 7ක් යනවා ඔහු ප්‍රධාන නියාමකවරයෙක් හැටියට සේවය කරන්න. ඒ වගේම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා රියදුරන් මෙන්ම කණිෂ්ඨ කාර්ය මණ්ඩල, පුහුණු කාර්ය මණ්ඩල අය විශාල හිඟතාවයක් ඇතිවෙනවා. මේ ගැන විශේෂ අවධානයක් යොමුකරන්න වෙනවා ඉදිරියේ දී දුම්රිය මේ තියෙන තත්ත්වයෙන් හෝ පවත්වාගෙන යෑමට නම්.”

පුවත යවන්න