දේශගුණික විපර්යාස පාකිස්ථානයේ ගංවතුරට හේතුවන්නේ මෙසේ යි

පාකිස්ථානයේ ඇතිව තිබෙන විනාශකාරී ගංවතුර, දේශගුණික විපර්යාස පිළිබඳ ලෝකයට “අනතුරු ඇඟවීමක්” බව විශේෂඥයින් පවසා තිබේ.

ලෝක වාර්තා බිඳදමන අන්දමේ මෙම වර්ෂාව නිසා, දුප්පත් රටවලට නොව පොහොසත් රටවලට පවා දැඩි බලපෑම් ඇතිවිය හැකියැ යි දේශගුණ විද්‍යාඥයෙකු BBCය වෙත පැවසීය.

සිකුරාදා (සැප්. 2) පුද්ගලයින් 2,000ක් ගංවතුරෙන් බේරා ගැනුණු අතර, රටේ බෝගවලින් අඩක් පමණම විනාශවී ඇති නිසා ආහාර හිඟයක් ඇතිවෙතැ යි එරට ඇමතිවරුන් අනතුරු අඟවයි.

නමුත් මෙම තත්ත්වය මඳක් අසාධාරණයැ යි හැඟ‍න්නේ, පාකිස්ථානය අපේ පෘථිවිය උණුසුම් කරන ගෝලීය හරිතාගාර වායු විමෝචනය සඳහා 1%කටත් වඩා අඩු දායකත්වයක් සපයන රටක් බැවිනි. එනමුත් එරට භූගෝලීය පිහිටීම නිසා එය දේශගුණික විපර්යාසවල අවදානමට පහසුවෙන් ලක්වෙයි.

“පාකිස්ථානයෙන් තුනෙන් එකක් මේ වන විට ජලයෙන් යටවෙලා. ඉස්සර අපි දැකපු තත්ත්වයට, සීමාවන්ට වඩා [බලපෑමේ] ලොකු වෙනසක් සිද්ධ වෙලා,” දේශගුණික අමාත්‍ය ෂෙරී රෙහ්මාන් පැවසීය.

පාකිස්ථානය පිහිටා ඇත්තේ ප්‍රධාන කාලගුණ පද්ධති දෙකක බර පැටවෙන ස්ථානයක ය. ඉන් එක් පද්ධතියක්, පසුගිය මාර්තුවේ දී සිදුවූවාක් මෙන්, අධික උෂ්ණත්වයක් සහ නියඟයක් ඇතිකරවන අතර අනෙක මෝසම් වැසි ගෙන එන්නකි.

පාකිස්ථාන ජනගහණයෙන් බහුතරයක් ඉන්දු ගං නිම්නයේ ජීවත්වන අතර, එය මෝසම් සමයේ දී පිටාර ගලා ගංවතුර ඇතිකරයි.

දේශගුණික විපර්යාස නිසා තීව්‍ර මෝසම් ඇතිවීමට හේතුව ඉතා සරල ය. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමෙන් වාතයේ සහ මුහුදේ උෂ්ණත්වය ඉහළ යන අතර, එය වැඩි වාෂ්පීකරණයට හේතුවේ. උණුසුම් වාතයට වැඩි තෙතමනයක් රඳවාගත හැකි අතර, මෙනිසා මෝසම් වර්ෂාපතනය වඩාත් තීව්‍ර වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉන්දියානු ගිම්හාන මෝසම් සමයේ සාමාන්‍ය වර්ෂාපතනය වැඩිවනු ඇතැ යි විද්‍යාඥයින් අනාවැකි පළ කරන බව පොට්ස්ඩෑම් දේශගුණික බලපෑම් පර්යේෂණය ආයතනයේ අන්යා කට්සන්බර්ගර් පැහැදිලි කරයි.

දේශගුණික විපර්යාසවලට බලපාන තවත් අංගයක් පාකිස්ථානය සතු ය. ඒ, එරට පිහිටි මහා ග්ලැසියරයන් ය.

පාකිස්ථානයේ උතුරුකරය ඇතැම්විට ‘තෙවන ධ්‍රැවය’ ලෙස හැඳින්වෙන්නේ, ධ්‍රැවයන්ගෙන් පිටත පිහිටන වැඩිම ග්ලැසියර ප්‍රමාණය එහි පිහිටන බැවිනි.

Glacial ice in Pakistan

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ලෝකය උණුසුම් වන විට ග්ලැසියර අයිස් දියවෙන්නට පටන්ගනියි. පාකිස්ථානයේ ගිල්ගිට්-බල්ටිස්ථාන් සහ ඛයිබර් පක්තුන්ක්වා ප්‍රදේශවල ග්ලැසියර සීඝ්‍රයෙන් දියවෙමින් විල් 3,000කට අධික ප්‍රමාණයක් නිර්මාණයවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන BBC වෙත පැවසීය.

මෙයින් විල් 33ක් පමණ ක්ෂණයෙන් බිඳීයෑමේ අවදානමට ලක්ව ඇති අතර, එසේ සිදුවුවහොත් මිලියන 7ක ජනතාවක් අවදානමට ලක්කරමින් ඝන මීටර් මිලියන ගණනක ජලය හා සුන්බුන් පහතට ගලා ඒමට හැකි ය.

පාකිස්ථාන රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ආරක්ෂිත යටිතල පහසුකම් ස්ථාපනය කිරීමෙන් මෙම හදිසි ගංවතුර අවදානම අවම කිරීමට උත්සාහ කරයි.

අතීතයේ දී, ගංවතුර නිසි ලෙස පාලනය කිරීමේ හැකියාවක් නොමැති, අඩු ගුණාත්මකබවකින් යුත් නිවාස සහිත දුප්පත් රටවලට අධික වර්ෂාපතනයට සාර්ථකව මුහුණදීමේ හැකියාවක් නොතිබුණු තරම් ය.

A bridge damaged by a glacial lake outburst

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,ග්ලැසියර විල් කැඩීයාම නිසා දැනටමත් යටිතල පහසුකම්වලට හානි සිදුව තිබේ

එහෙත් දේශගුණ බලපෑම් විද්‍යාඥ ෆාහාඩ් සයීද් BBC පුවත් සේවයට පැවසුවේ, මෙම ග්‍රීෂ්ම සෘතුවේ දී ඇතිවූ ව්‍යසනකාරී ගංවතුරට මුහුණදීමට ධනවත් රටකට පවා නොහැකිවනු ඇති බව යි.

“මේ අමුතුම ජාතියේ ‘සතෙක්ට’ අපි මුහුණදෙන්නේ – ගංවතුර ප්‍රමාණය බොහොම වැඩියි වගේම වැස්සත් අධික යි. ඒ නිසා ඉතාම හොඳ ආරක්ෂාවක් තිබුණත් මඳි,” පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි සිට ආචාර්ය සයීද්‍ පැහැදිලි කරයි.

2021 දී දුසිම් ගණනක් මරාදැමූ ජර්මනියේ සහ බෙල්ජියමේ ගංවතුර ගැන ඔහු සිහිපත් කරයි.

පාකිස්ථානයට ජූනි සිට අගෝස්තු දක්වා මිලිමීටර 390.7ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එය වසර 30ක සාමාන්‍යයට වඩා ආසන්න වශයෙන්190%කට වැඩි වර්ෂාපතනයකි.

පාකිස්ථානයේ කාලගුණ විද්‍යා සේවය, ජනතාව වෙත ගංවතුර ගැන කල්තියා අනතුරු ඇඟවීමේලා “සැලකිය යුතු” කාර්යයක් ඉටුකළ බව ඔහු පවසයි. එසේම, ගංවතුර ආරක්ෂණ ක්‍රම කිහිපයක් ද එරට ඇති නමුත් ඒවා වැඩිදියුණු කළ යුතු බව ඔහු පවසයි.

විශාලම දුක විඳින්නේ අඩුම කාබන් විමෝචනය ඇති ජනයා බව ආචාර්ය සයීද් ප්‍රකාශ කළේ ය.

“වින්දිතයො ජීවත්වෙන්නේ කිසිදු සම්පතක් නැති මැටි ගෙවල්වල. ඒ මිනිස්සු දේශගුණික විපර්යාසවලට කවදාවත් දායකවෙලා නැහැ,” ඔහු පවසයි.

මෙවර වර්ෂාව, සාමාන්‍යයෙන් මෙවැනි වර්ෂාපතනයක් දක්නට නොලැබෙන ශුෂ්ක හෝ අර්ධ ශුෂ්ක දේශගුණයක් සහිත දකුණුදිග ප්‍රදේශ වන සිං සහ බලුකිස්ථාන් ඇතුළු ප්‍රදේශවලට ද බලපා ඇත.

බලුකිස්ථානයේ දේශගුණ ක්‍රියාකාරිකයෙකු වන 17 හැවිරිදි යූසුෆ් බාලුච් පවසන්නේ, රටේ පවතින අසමානතාව නිසා ප්‍රශ්නය තවත් උග්‍රවන බව යි. ඔහුට වයස අවුරුදු හයේ දී ඔවුන්ගේ නිවස ගංවතුරට ගසාගෙන ගියබව ඔහු සිහිපත් කරයි.

“නගරවල ජීවත්වෙන, වැඩි වරප්‍රසාද ලත් මිනිස්සුන් තමයි ගංවතුරෙන් අඩුම පීඩාවට පත්වෙලා තියෙන්නෙ,” ඔහු පැහැදිලි කරයි.

“මිනිස්සුන්ගේ තරහ සාධාරණ යි. සමාගම් තවමත් පොසිල ඉන්ධන ගන්න බලුකිස්ථානය කණිනවා. නමුත් එහේ මිනිසුන්ට නිවාස අහිමි වෙලා, කන්නබොන්න හෝ ඉන්න තැනක්වත් නැහැ,” ඔහු පවසයි. ඔහු විශ්වාස කරන්නේ එහි සිටින ප්‍රජාවන්ට සහාය දැක්වීමට රජය අපොහොසත්ව සිටින බවකි.

ආචාර්ය සයීද් පවසන්නේ මෙම ගංවතුර, එක්සත් ජාතීන්ගේ දේශගුණික සම්මන්ත්‍රණවල දී දේශගුණික විපර්යාස වැළැක්වීමට පොරොන්දු වූ රටවල්වලට කෙරෙන “අනතුරු ඇඟවීමක්” බව යි.

“මේවා සිද්ධවෙන්නේ ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.2කින් වැඩි වුණු නිසා. ඊට වඩා වැඩිවුණොත් ඒක පාකිස්ථානයේ අවසානය වෙන්න පුළුවන්,” ඔහු වැඩිදුරටත් කියා සිටියි.

පුවත යවන්න