නව ත්‍රස්ත විරෝධී පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් – විජිත හේරත්

මේ වනවිට ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව රට තුළින් මෙන්ම ජාත්‍යන්තරවත් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින පසුබිමක ආණ්ඩුව විසින් ගැසට් කර තිබෙන නව “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි.
අද (28) පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික විජිත හේරත් මේ බව පැවසීය. එම බමාධ්‍ය හමුවේදී ඔහු දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

“අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කරමින් ජනතාවට ජීවත්වෙන්න බැරි දැඩි පීඩාකාරී තත්වයක් දිනපතා ඇති කෙරෙමින් පවතිනවා. ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන කුණුකොල්ලයට විකුණන්න පිඹුරුපත් සකස් කර අවසන්. ලාභ ලබන ආයතනත් විකුණන බව ප්‍රසිද්ධියේම කියනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් ආයතනය විශාල ලාභයක් ලබන අතර සේවකයින් දහස් ගණනක් රැකියා කරනවා. ඒ ආයතන විකුණා මේ රටේ ජනතාව තව තවත් පීඩාවට පත්කරන්න පසුබිම හදනවා. ගෙවා ගන්න බැරි ණය අර්බුදය තවත් තීව්‍ර කරමින් අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. ඊට එරෙහිව නැගෙන ජනතා විරෝධය මැඩපවත්වන්න ත්‍රස්ත විරෝධී පනත නමින් ඇත්තටම ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් ගැසට් කර තිබෙනවා.

මේ පනතේ ඉතිහාසයක් තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන 1979යේ අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත ගෙනාවේ කෙටි කාලයක් සඳහා බව කියමිනුයි. තාවකාලික විධි විධාන කියලා සඳහන් වුණත් ඒක තාවකාලික වුණේ නැහැ. විවිධ දේශපාලන ක්‍රියාධරයන්, ප්‍රගතිශීලීන්, ආණ්ඩුව විවේචනය කළ මාධ්‍යවේදීන් සහ විවිධ සිවිල් ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්න මේ පනත පාවිච්චි කළා. මේ පනත පාවිච්චි කර, දහස් ගණනක් අත්අඩංගුවට ගෙන නීති විරෝධීව අවුරුදු ගණනක් රඳවා තබාගෙන සිටියා. රඳවාගෙන සිටි සමහර අය අධිකරණයක නඩු නොපවරා අනීතිකව රඳවාගෙන සිටියා. රට තුළත්, ජාත්‍යන්තරවත් ඊට එරෙහිව විශාල විරෝධයක් පැන නැගුණා. යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් ලබාදීමට නම්, මේ ජන පීඩක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගත යුතු බව පැහැදිලිව කියා සිටියා. රනිල් වික්‍රමසිංහත් ඊට එකඟ වුණා. ඇත්තටම කළ යුතු වන්නේ මේ ජන පීඩක පනත වහාම හකුළා ගැනීමයි.
තමන්ට විරුද්ධව නැගෙන හඬ යටපත් කරන්න බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම මෙම පනත පාවිච්චි කළා. ප්‍රති ත්‍රස්ත පනත 2015 – 2019 කාලයේ හඳුන්වාදීමට ගියත් දැන් ත්‍රස්ත විරෝධී පනතක් ලෙස අද නැවත ගෙනැවිත් තිබෙනවා. ත්‍රස්තවාදයේ වරද පිළිබඳව දී තිබෙන නිර්වචනය අතිශය බරපතළයි. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ යම් අර්ථ දැක්වීම් සහ නිර්ණායක තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් නිර්ණායකවලටත් විරුද්ධව මේ පනත ගෙනැවිත් තිබෙනවා. මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ජාත්‍යන්තර සම්මුතියකින් ශ්‍රී ලංකාව බැඳී සිටියත් ඊට එරෙහිව යන නිර්වචන මීට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුවට එරෙහිව යම් අදහස් දැක්වීමක්, ප්‍රකාශනයක් නිකුත් කිරීමක්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමක් ත්‍රස්තවාදය යටතට පැවරෙන ආකාරයට අර්ථ දැක්වීම් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි වගන්තියේ ඉතා පැහැදිලිව වෘත්තීය සමිති පවත්වාගෙන යාම සහ සාමාජිකත්වය ගැනීම මූලික අයිතිවාසිකමක් හැටියට පිළිගෙන තිබෙනවා. ඒ වගේම 12, 13, 14 වගන්තිවලින් භාෂණයේ, ප්‍රකාශනයේ, නිදහස ආරක්ෂා කර තිබෙනවා.

ඒ වගන්තිවලටත් පටහැණිව මේ කෙටුම්පත සකස් කර, ත්‍රස්තවාදී වරද නිර්වචනය කර තිබෙන්නේ ආණ්ඩුව කරන වැඩක් වැරදියි කීමත්, එය නවත්වන්න කීමත්, ඊට විරුද්ධව යමක් කිරීමත් ත්‍රස්තවාදය යනුවෙනුයි. යෝජිත පනතේ 3(1) වගන්තිය අනුව අත්‍යවශ්‍ය සේවා සැපයීම සම්බන්ධ යම් යටිතල පහසුකම් සැපයීමකට හෝ ප්‍රවාහන පහසුකමකට යම් අලාභ හානි සිදුකිරීම හෝ බාධා ඇති කිරීම වෙනුවෙන් මැදිහත් වීම ත්‍රස්තවාදී ක්‍රියාමාර්ගයක් ලෙස අර්ථ දක්වා තිබෙනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේදී සාමාන්‍ය තත්වයෙන් සේවා පවත්වාගෙන යන්න බැහැ. මේ වැනි අවස්ථාවක අදාළ වෘත්තීය සමිතියත් එහි ක්‍රියාකාරිකයිනුත් ත්‍රස්තවාදීන් ලෙස නම් කර වසර 20 දක්වා සිරදඬුවම් ලබාදිය හැකි වගන්ති තිබෙනවා. පැහැදිලිවම වෘත්තීය සමිති මර්දනය කරන්න ආණ්ඩු්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ගෙනත් තිබෙනවා. මේක වැඩකරන ජනතාවට එරෙහිව දැඩි මර්දනයක් දියත් කිරීමට ගෙන ආ පනතක්.

යම්කිසි ආයතනයක වැඩවර්ජනයකට සේවකයන් ඒකරාශී වීමක් ඒ ආයතනයේ ක්‍රියාකාරිත්වයට බාධා කළා යන චෝදනාවලින් ත්‍රස්තවාදියෙකු ලෙස සලකා දඬුවම් කළ හැකියි. වැඩවර්ජනයක් සම්බන්ධයෙන් මුද්‍රිත මාධ්‍යයෙන්, අන්තර්ජාලයෙන් හෝ වෙනත් මාර්ගයක් හරහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබෙනවා. මේ අනුව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අත්පත්‍රිකා බෙදීම, ට්විටර් පණිවිඩයක් යැවීම, වට්ස්ඇප් පණිවිඩයක් යැවීම, ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම්කර තිබෙනවා. 11(8) වගන්තියෙන් ඊට අදාළ ප්‍රතිපාදන දක්වා තිබෙනවා. යම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් පිළිබඳව මාධ්‍යවේදියෙක් වාර්තා කළහොත් ඔහුත් අත්අඩංගුවට ගත හැකියි. 11(1) වගන්තියෙන් දක්වා තිබෙන්නේ ත්‍රස්තවාදී ප්‍රකාශනයක අන්තර්ගත දේ ඉලෙක්ට්‍රෝනික සම්ප්‍රේක්ෂණය කිරීමත් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස දක්වා තිබෙනවා. ඒ කියන්නේ කවුරුන් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන කතා කළොත් එයත් ත්‍රස්තවාදීයෙකු ලෙස නම්කර තිබෙනවා. යම් ක්‍රියාමාර්ගයක් සියලු ජනතාව එකතු වී ගත්තත් ත්‍රස්තවාදී ලේබලය ඇලවිය හැකි වගන්ති තිබෙනවා.

ජනතාව දහස් ගණන් පාලකයන්ට එරෙහිව විරෝධතා දක්වන්න පාරට බැස්ස විවිධ අවස්ථා තිබෙනවා. මේ පනත අනුව ඒ සියලු ජනතාව ත්‍රස්තවාදීන් ලෙස නම් කරන්න පුළුවන්. ඒ වගේම “මෙතෙක් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාදිය හැක්කේ ආරක්ෂක ඇමතිවරයාට වුවත් දැන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුටත් ඒ නියෝග ලබාදිය හැකියි.” ප්‍රතිත්‍රස්ත පනතෙන් රැඳවුම් නියෝග ලබා දිය හැකි කාල සීමාව සති දෙකකට සීමා කර තිබුණා. ඒ කාලය මාස තුනක් දක්වා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට නියෝග ලබාදීමේ අවස්ථාව මේ පනතේ ඇතුළත් කර තිබෙනවා. මේ මාස තුනකට පසුව අධිකරණයේ අනුමැතියක් අරගෙන අවුරුද්දක් දක්වා දීර්ඝ කළ හැකියි. මේ පනත පාවිච්චි කළේම ඇත්ත ත්‍රස්තවාදය මර්දනයට නොවෙයි, ජනතාව මර්දනය කරන්න බව අත්දැකීමෙන්ම අපි දන්නවා. රඳවාගෙන සිටීම ගැන පවුලේ අයට දැනුම් දිය නොහැකි නම්, පොලිස් පොතේ සටහනක් දැමීම ප්‍රමාණවත් බවත්, පොලිස් නිලධාරියෙක්, වෙරළාරක්ෂක නිලධාරියෙක් හෝ සන්නද්ධ සේවාවන්හි නියුක්ත කෙනෙකුටත් යම් පුද්ගලයෙක් ත්‍රස්තවාදියෙක් ලෙස හැඟෙනවා නම් අත්අඩංගුවට ගැනීමේ බලය ලබාදෙන්න ප්‍රතිපාදන තිබෙනවා.

මාධ්‍ය නිදහස අමු අමුවේම උල්ලංඝනය කිරීමත්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන බිය ගැන්වීමත් මේ තුළ අඩංගු වෙනවා. ජනාධිපතිගේ තනි කැමැත්තට යම් සංවිධානයක් ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කිරීමේ හැකියාවක් තිබෙනවා. විධායක ජනාධිපතිගේ අත්තනෝමතික විකාර සිතුවිලි මත සංවිධාන තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට මුළුමනින්ම විරුද්ධයි. මේ පනත යටතේ වසන්ත මුදලිගේව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියත් කිසිදු වරදක් ඔප්පු කරන්න බැරිව නිදහස් කරන්න සිදුවුණා. මින් ඉදිරියේදී රැඳවුම් නියෝග තමන් විසින් ලබා නොදෙන බව රනිල් වික්‍රමසිංහ කියා තිබුණා. මේ පනත අනුව ඒ නියෝග එයා දිය යුතු නැහැ. නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මේ බලය පැවරීම කියන්නේ ජනතාව මර්දනය කරන්න තිබෙන බලය තවත් ව්‍යාප්ත කිරීමයි. මෙහෙම අත්අඩංගුවට ගන්න අය පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානත් නම් කරන්න ජනාධිපතිවරයාට හැකියි. නීතිපතිවරයාට සිරදඬුවම් ලබාදීමේ අවුරුදු 20ක කාලය පිළිබඳව තීරණය ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා. අත්අඩංගුවට ගත් කෙනෙකු සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීමේ හැකියාව නීතිපතිට දී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍ර විරෝධී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ පනත වහාම හකුළා ගත යුතුයි. රනිල් වික්‍රමසිංහගේ බලහත්කාරය ජනතාව මත ක්‍රියාත්මක කරන්න අලුත් පනතකින් බලය ගන්න උත්සාහ කරනවා. අයිඑම්එෆ් එකෙන් ලබාදෙන පීඩනයට එරෙහිව නැගී සිටින ජනතාව සහ වෘත්තීය සමිති මර්දනය කරන්න ගෙන එන මේ පනතට විරුද්ධව අපි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණය, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, සහ ජනතාව සංවිධානය කරමින් මේ පනතට විරුද්ධව විවිධ ක්‍රියාමාර්ග අපි දියත් කරනවා. මෙය පරාජය කරන්න සංවිධානය වන ලෙස මේ රටේ සමස්ත ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය:- මේ පනත අනුව බන්ධනාගාර සංඛ්‍යාව වැඩි කළ හැකිද?
පිළිතුර :- ආරක්ෂක අංශවල අයට වගේම වෙරළාරක්ෂක භටයන්ටත් යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ හැකියාව මෙයින් ලබාදෙන්න යනවා. ජෛවමිතික පරීක්ෂාවන් සිදුකරන්න පොලිස් ස්ථානාධිපතිවරයෙකුට හැකියි. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට රැඳවුම් නියෝග ලබාදිය හැකියි. ඒ අනුව වැඩි වැඩියෙන් බන්ධනාගාර පිරෙන්න පුළුවන්.

ප්‍රශ්නය:- මේ පනත ජාතික ජන බලවේගයට විරුද්ධව යොදා ගනීවිද?
පිළිතුර:- මේ රටේ ප්‍රගතිශීලී සියලුම ජනතාවට විරුද්ධව, ප්‍රගතිශීලී සියලු සංවිධානවලට විරුද්ධව මේ පනත යොදා ගත හැකියි. පොදුවේ ආණ්ඩුව ගන්නා ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව රට පුරා විරෝධතා පැන නගිනවා. මේ පනත මගින් ඒ සියලු විරෝධතා මර්දනය කළ හැකියි. ඒ මාලිමාවේ අපට විතරක් බලපාන එකක් නොවෙයි. එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනකොට 1979 දී උතුරේ තරුණයන් මුලින්ම උතුරට විරුද්ධව යොදා ගන්නා පනත දකුණේ තරුණයන්ට විරුද්ධව යොදා ගන්නා දවස වැඩි ඈතක නොවෙන බව සඳහන් කළා. ඒ වගේම මුළු රටටම අදාළව ඒ පනත ක්‍රියාත්මක කළා. මේ පනතත් මුළු රටේම ජනතාවට විරුද්ධව යොදා ගත හැකියි. මේ පනත තාම පාර්ලිමේන්තුවේ සභාගත කර නැහැ. ඕනෑම අවස්ථාවකදී මීට විරුද්ධව අපි මැදිහත් වෙනවා.

ප්‍රශ්නය:- මැතිවරණය තියයිද?
පිළිතුර:- බාලගිරි දෝෂය අද නොවේ හෙට. ඇත්තටම ගත්තොත් ආණ්ඩුව මේ මැතිවරණයට බයයි. ඡන්දය පැවැත්වුවහොත් රනිල් කෙනෙක් නැහැ. ඒ නිසා නීති විරෝධී ආකාරයෙන් මැතිවරණයට අදාළ සල්ලි නොදී ඉන්නවා. ලබන 04වැනිදා මැතිවරණ කොමිසම නැවත රැස්වෙනවා. මැතිවරණ කල් දාලා ජනතා විරෝධය යටපත් කරන්න ආණ්ඩු හිතනවා නම් කල් යන්න කල් යන්න ජනතා විරෝධය වර්ධනය වෙන බවත් පිමි ගණනින් ජනතාව නැගිටින බවත් අපි අවධාරණය කරනවා.

පුවත යවන්න